බ්‍රිතාන්‍යයේ ජනප්‍රිය නවකතා රචකයෙකු මෙන්ම කොන්සවේටිව් පක්ෂයේ හිටපු සාමාජිකයෙකු වූ ජෙෆ්රි ආචර් සිය 86 වන වියේදී අභාවප්‍රාප්ත වී ඇත. ඔහුගේ ප්‍රකාශකයන් වන හාපර් කොලින්ස් ආයතනය සඳහන් කළ පරිදි, ඔහු නිවසේදී හදිසියේ සහ සාමකාමීව මිය ගොස් ඇත්තේ ඔහුගේ අවසන් නවකතාව ලෙස සැලකෙන 'ඇඩම් ඇන්ඩ් ඊව්' (Adam And Eve) එළිදැක්වීමට දිනකට පෙරය.
ඔහුගේ මරණයට පෙර ඉරිදා දිනයේදී, ලෙස්ටර් ස්ක්වෙයාර් රඟහලේදී පැවති උත්සවයකට සහභාගී වූ ඔහු රසිකයින් සිය ගණනක් හමුවී පොත්වලට අත්සන් තබා තිබුණි. 1976 දී 'නොට් අ පෙනි මෝ, නොට් අ පෙනි ලෙස්' (Not A Penny More, Not A Penny Less) කෘතියෙන් සිය සාහිත්‍ය දිවිය ආරම්භ කළ ආචර්, භාෂා 49 කින් රටවල් 119 ක පොත් මිලියන 300 කට වඩා අලෙවි කර ඇති විශිෂ්ට ලේඛකයෙකි. ඔහුගේ 1979 වසරේ නිකුත් වූ 'කේන් ඇන්ඩ් ඒබල්' (Kane and Abel) කෘතිය පිටපත් මිලියන 30 කට වඩා අලෙවි වී ලොව පුරා අතිශය ජනප්‍රිය විය. සාහිත්‍යයට අමතරව ඔහු දේශපාලන ක්ෂේත්‍රයේ ද කැපී පෙනෙන චරිතයක් විය.
1969 සිට 1974 දක්වා ලවුත් හි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ඔහු, පසුව 1985 දී මාග්‍රට් තැචර් යටතේ කොන්සවේටිව් පක්ෂයේ නියෝජ්‍ය සභාපතිවරයා බවට පත් විය. 1992 දී සාමිවරයෙකු ලෙස පත් කරනු ලැබුවද, පසුව ඇතිවූ ආන්දෝලනාත්මක සිදුවීම් සහ ලිංගික සේවිකාවක් සමඟ පැවති සම්බන්ධතාවයක් පිළිබඳ වාර්තා වීම් හේතුවෙන් ඔහුට ඉල්ලා අස්වීමට සිදුවිය. ඉන් අනතුරුව අධිකරණය නොමඟ යැවීමේ සහ බොරු සාක්ෂි දීමේ චෝදනා මත ඔහුට වසර හතරක සිරදඬුවමක් ද නියම වූ අතර දකුණු ලන්ඩනයේ බෙල්මාෂ් බන්ධනාගාරයේ කාලය ගත කිරීමට ද සිදුවිය. විවාහ දිවිය සම්බන්ධයෙන් ගත් කල, ඔහු සිය බිරිඳ වන මේරි සමඟ පසුගිය ජූලි මාසයේදී සිය 60 වැනි විවාහ සංවත්සරය සමරා තිබුණි. මිය යන විට ඔහුට අවුරුදු 54 සහ 52 වයස්වල පසුවන විලියම් සහ ජේම්ස් නමින් පුතුන් දෙදෙනෙකු සහ මුණුබුරන් පස් දෙනෙකු සිටියේය. 2013 වසරේදී පිළිකා රෝග විනිශ්චයකට ලක්වූ ඔහු ඒ සඳහා ශල්‍යකර්මයකට ද භාජනය වී තිබුණි.

