big-pattys-brother-murdered-in-ahungalla

අහුංගල්ල පොලිස් වසමට අයත් වැලිකන්ද ප්‍රදේශයේදී අද (01) රාත්‍රී කාලයේදී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් සිදුකරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.




පොලිස් තොරතුරු වලට අනුව මෙම අපරාධය අද රාත්‍රී 8.10 ට පමණ සිදුව ඇති අතර, අපරාධකරු විසින් ඒ සඳහා මිලිමීටර් 9 (9mm) වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇත. අදාළ වෙඩි තැබීම වින්දිතයාගේ නිවස ආසන්නයේදීම සිදු කර ඇති බව මූලික විමර්ශනවලදී තහවුරු වී තිබේ. වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මෙලෙස මියගොස් ඇත.

මෙම සිදුවීමෙන් ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 35ක් වන ලන්තුවාහන්දි සුගත් නුවන් කුමාර ද සිල්වා නැමැති අයෙකි. ඔහු මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන 'ලොකු පැටී' නැමැත්තාගේ බාල සහෝදරයා බවට මේ වන විට තොරතුරු අනාවරණය වී තිබේ.




මෙම වෙඩි තැබීමට පැහැදිලි හේතුවක් හෝ ඊට සම්බන්ධ සැකකරුවන් පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැත. සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන් හඳුනාගැනීම සහ ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා අහුංගල්ල පොලීසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.