anojans-death-sentence-overturned

සවුදි අරාබියේ මහා අධිකරණය විසින් ශ්‍රී ලාංකික ජාතික අනෝජන් සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම අහෝසි කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ප්‍රකාශ කර සිටියි.




නියෝජ්‍ය අමාත්‍යවරයා සිය සමාජ මාධ්‍ය ගිණුම සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ 2026 ඔක්තෝබර් 13 වන දින මෙම අදාළ මරණ දඬුවම ඉවත් කිරීමේ තීන්දුව සවුදි අරාබි මහා අධිකරණය මගින් ලබා දුන් බවයි.

ශ්‍රී ලංකා රජය විසින් අඛණ්ඩව ගෙන ගිය රාජ්‍ය තාන්ත්‍රික හා නීතිමය ක්‍රියාමාර්ගයන්හි ප්‍රතිඵලයක් ලෙස මෙම තීන්දුව ලැබුණු බව පෙන්වා දෙන හේමචන්ද්‍ර මහතා, එය අනෝජන් සිවරාසාගේ පාර්ශ්වයට ලැබුණු විශාල සහනයක් බවද පෙන්වා දෙයි. මෙම නීතිමය ක්‍රියාවලියේදී දක්වන ලද සහයෝගය සහ නම්‍යශීලීභාවය වෙනුවෙන් සවුදි අරාබි රජය වෙත නියෝජ්‍ය අමාත්‍යවරයා සිය විශේෂ ස්තූතිය පුද කර සිටියි. 

මීට අමතරව මෙම අභියෝගාත්මක කාර්යය වෙනුවෙන් කැපවූ සවුදි අරාබියේ ශ්‍රී ලංකා තානාපතිවරයා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා සහ එහි සාමාජිකයින් මෙන්ම ශ්‍රී ලාංකික හා සවුදි නීතිඥ කණ්ඩායම් වෙතද අමාත්‍යවරයාගේ කෘතඥතාව හිමි වී ඇත. 


2026 ජූනි මාසයේදී කතරගම පාදයාත්‍රාව අතරතුර කල්මුනේදී "සුබ්‍රමනි" නම් සුනඛයෙකුට පා පහරක් දුන් මුස්ලිම් තරුණයෙකුගේ වීඩියෝවක් හේතුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හින්දු-මුස්ලිම් මතභේදයක් ඇති විය. එහිදී ශිව දෙවියන්ට එරෙහිව වූ අපහාසාත්මක අදහස් දැක්වීමකට ප්‍රතිචාර ලෙස, අනෝජන් කෝපයෙන් යුතුව නබි තුමාට අපහාස වන පරිදි දෙමළ බසින් සටහනක් තබා ඇත. මිනිත්තු 10කින් එය මකා දමා සමාව ඉල්ලුවද, එම සටහනේ ස්ක්‍රීන්ෂොට් අරාබි බසට පරිවර්තනය කර ඔහුගේ සේවා යෝජකයා වෙත යවා තිබේ.

නඩු ක්‍රියාවලිය සහ දඬුවම

 ජූලි 2: අල්-අහ්සා හිදී සවුදි පොලිසිය විසින් අනෝජන් අත්අඩංගුවට ගන්නා ලදී.

 ජූලි 27-28: අල්-අහ්සා අපරාධ අධිකරණය මගින් විද්‍යුත් අපරාධ නීතිය (Anti-Cyber Crime Law) සහ ෂරීආ නීතිය යටතේ වසර 5ක සිර දඬුවමක් හා සවුදි රියාල් මිලියන 3ක දඩයක් නියම කළේය. මුල් නඩු විභාගයේදී ඔහු වෙනුවෙන් නීතිඥයෙකු සිට නැත.

 අගෝස්තු 24: දඬුවම ලිහිල් කරන ලෙස ආරක්ෂක පාර්ශ්වයෙන් අභියාචනයක් ඉදිරිපත් කරන ලදී.

 සැප්තැම්බර් 17: අභියාචනාධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර, පැමිණිලි පාර්ශ්වයේ ඉල්ලීම පරිදි ෂරීආ නීතියට අනුව නබි තුමාට අපහාස කිරීම (Sabb al-Rasul) බරපතල වරදක් ලෙස සලකා මරණ දඬුවම නියම කළේය.

රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම මත

අද වනවිට මරණ දඩුවම ඉවත්ව ඇත.

අනෝජන් සිවරාසාගේ නීතිමය තත්ත්වය සහ ඉදිරි නීතිමය පියවර සම්බන්ධයෙන් මෙතෙක් වැඩිදුර තොරතුරු අනාවරණය කර නොමැති වුවද, මෙම තීන්දුව ඔහුගේ නඩුවේ ඉදිරිය උදෙසා සිදුවූ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සැලකෙයි.