airbus-deal-namal-faces-24-indictments

ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා එයාර්බස් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළ විමර්ශන අවසන් වෙමින්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා 24 ක් ගොනුකර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද (27) දැනුම් දුන්නේය.




බරපතළ මූල්‍ය හා ආර්ථික අපරාධ විභාග කිරීම පිණිස අගවිනිසුරුවරයා විසින් පත්කරන ලද විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම නඩුව විභාගයට ගැනීමට නියමිතය. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ ප්‍රකාශ කළේ, අල්ලස් කොමිසම විසින් පවරා ඇති මෙම නඩුවට අදාළව සාක්ෂිකරුවන් පනහකට අධික සංඛ්‍යාවක් නම් කර ඇති බවයි.

රුපියල් කෝටි දහයක (මිලියන 100ක) අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත පසුගිය 2026 සැප්තැම්බර් 4 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි නාමල් රාජපක්ෂ මහතා පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව අත්අඩංගුවට පත්විය. ඉන්පසු අවස්ථා කිහිපයකදීම ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප වී ඔහුගේ රක්ෂිත බන්ධනාගාර කාලය දීර්ඝ කෙරුණි. මේ වන විට එයාර්බස් ගනුදෙනුවට අදාළව ඔහුට ඇප නියම වී තිබුණද, ‘ක්‍රිෂ්’ ගනුදෙනුවට අදාළ නඩුවක් හේතුවෙන් හෙතෙම තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව පසුවෙයි.




අද දින අධිකරණයේදී විත්තිය වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ, ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මේ වන විටත් දිනපතා දීර්ඝ නඩු විභාගයක් ක්‍රියාත්මක වන බැවින් මෙම නව නඩුව සලකා බැලීමට සැලකිය යුතු කාලයක් ගතවිය හැකි බවයි.

එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි ව්‍යවස්ථාව උපුටා දක්වමින් අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා, සැකකරුවෙකුගේ පුද්ගල නිදහස ආරක්ෂා කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. එයාර්බස් ගනුදෙනුවේ පරීක්ෂණ අවසන්ව ඇති පසුබිමක තම සේවාදායකයා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තැබීම යුක්තිසහගත නොවන බවත්, මහාධිකරණයෙන් සිතාසියක් ලැබෙන ඕනෑම මොහොතක අධිකරණයේ පෙනී සිටීමට ඔහු සූදානම් බැවින් සුදුසු කොන්දේසියක් යටතේ ඇප මත මුදාහරින ලෙසත් නීතිඥවරයා ඉල්ලා සිටියේය.



දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නඩුව පසුව කැඳවීමට නියෝග කළේය. මේ අතර ක්‍රිෂ් නඩුවේ මෝසම සම්බන්ධයෙන් ඉදිරියේදී කරුණු දක්වන බවද නීතිඥවරු අධිකරණයට දන්වා සිටියහ.

මෙම නඩුවට පාදක වූ අල්ලස් ගනුදෙනුවේ ජාත්‍යන්තර මූල්‍ය ජාලය පිළිබඳ තොරතුරු ද විමර්ශන හරහා මේ වන විට හෙළිදරව් වී තිබේ. 2013 වසරේ සිදුවූ මෙම ගනුදෙනුවේදී අල්ලස් වශයෙන් ගෙවූ බව කියන යුරෝ 1,454,651.24 ක මුදලක් පළමුව සිංගප්පූරුවේ ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ ‘BIZ Solutions Inc.’ සමාගම් ගිණුමට බැරවී තිබිණි. අදාළ සමාගම ශ්‍රීලංකන් ගුවන් සේවයේ එවකට ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක මහත්මියගේ නමින් ලියාපදිංචි කර තිබූ බව විමර්ශනවලදී අනාවරණය විය.

ඉන් අනතුරුව, එම ගිණුමෙන් ඇමෙරිකානු ඩොලර් 800,000 ක මුදලක් සිංගප්පූරුවේම OCBC බැංකුවේ පවත්වාගෙන ගිය 'Sabre Vision Holdings Ltd.' ගිණුමට මාරු කර තිබූ අතර, ඊට සම්බන්ධ ප්‍රධාන ව්‍යාපාරිකයා නිමල් පෙරේරා මහතා බව හෙළිවිය. ඕස්ට්‍රේලියාවේ වෙසෙන නිමල් පෙරේරා මහතා විසින් ලබාදුන් දිවුරුම් ප්‍රකාශයක සඳහන් වන්නේ, 2014 සහ 2015 වසරවලදී එම මුදලින් රුපියල් මිලියන 100 ක් අවස්ථා කිහිපයකදී නාමල් රාජපක්ෂ මහතාට භාර දුන් බවයි. කෙසේ වෙතත්, රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය එම චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇත.

මීට අමතරව, 2013 මාර්තු 23 දිනැතිව එයාර්බස් සමාගම යොමු කළ විද්‍යුත් තැපැල් පණිවුඩයක දැක්වෙන්නේ, ගුවන් යානා මිලදී ගැනීමේ යෝජනාව ජනාධිපතිවරයා හරහා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට එවකට ජනාධිපතිවරයාගේ පුත්‍රයා වූ නාමල් රාජපක්ෂ මහතා එකඟ වූ බවයි.

ප්‍රංශයේ එයාර්බස් සමාගමේ නිලධාරීන්ට අමතරව සිංගප්පූරුව, ඕස්ට්‍රේලියාව, ඇමෙරිකාව සහ ප්‍රංශය යන රටවලින් ලබාගත් තොරතුරු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම එක්ව මෙම ජාත්‍යන්තර විමර්ශනය මෙහෙයවා තිබිණි. පසුගිය ඔක්තෝබර් 13 වැනිදා නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන් පරිදි, එම පරීක්ෂණ අවසන් කර නඩුව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයක් හමුවේ විභාග කිරීමේ නෛතික ක්‍රියාවලිය අද දිනයෙන් සම්පූර්ණ වී තිබේ. අද දින මෙම මහේස්ත්‍රාත් අධිකරණයේදී අදාළ නඩුව කැඳවෙන අවසන් දිනය මෙය වනු ඇතැයි අපේක්ෂා කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.