ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෑතකදී කෘතිම බුද්ධිය හැඳින්වූයේ ලොව පුරා රැකියා විනාශ කරමින් හමා යන 'මන්දගාමී සුනාමියක්' ලෙසිනි. එම තත්ත්වය තවදුරටත් තහවුරු කරමින් මයික්‍රොසොෆ්ට් ආයතනයේ සමස්ථාපක බිල් ගේට්ස් මහතා පෙන්වා දෙන්නේ, ලාභය වැඩිකර ගැනීමේ අරමුණින් සමාගම් සිය සේවකයන් වෙනුවට කෘතිම බුද්ධියෙන් බලගැන්වෙන රොබෝවරුන් ආදේශ කිරීමට පෙළඹීම හේතුවෙන් නුදුරු අනාගතයේදීම දැවැන්ත රැකියා අහිමිවීමේ අර්බුදයක් නිර්මාණය විය හැකි බවයි.
මෙය හුදෙක් අනාගතයට පමණක් සීමා වූ අවදානමක් නොවේ. දත්ත විශ්ලේෂණය, මෘදුකාංග සංවර්ධනය, දත්ත ඇතුළත් කිරීම සහ පාරිභෝගික සේවා වැනි සුදු කොලර් රැකියා රැසක් මේ වන විටත් කෘතිම බුද්ධිය හමුවේ බිඳවැටෙමින් පවතී. ඊට ආසන්නතම නිදසුන සපයන බාක්ලේස් බැංකුව, මේ වසර අවසන් වන විට සිය සේවකයන් පස් දහසක් කෘතිම බුද්ධිය මගින් ප්‍රතිස්ථාපනය කිරීමට මේ වන විටත් සැලසුම් කර තිබේ.
තාක්ෂණයේ මෙම වර්ධනය සුදු කොලර් රැකියාවලට පමණක් සීමා නොවන බව බිල් ගේට්ස්ගේ අදහසයි. ඉදිරියේදී මානව රොබෝවරුන්ගේ භාවිතය බහුල වීමත් සමඟ කර්මාන්තශාලා සහ ඉදිකිරීම් වැනි ශාරීරික ශ්‍රමය මත පදනම් වූ කුසලතා පවා දැඩි අවදානමකට ලක්වනු ඇත. ව්‍යාපාරිකයන් සිය ලාභය උපරිම කරගැනීමේ උපායමාර්ගයක් ලෙස මෙම වේගයෙන් දියුණු වන තාක්ෂණය වැළඳ ගැනීමට උත්සාහ කිරීම ඊට ප්‍රධානතම හේතුවයි.
2020 දශකය අවසන් වන විට කෘතිම බුද්ධිය මිනිසුන්ට වඩා බුද්ධිමත් මට්ටමකට පැමිණ, මානව පාලනයෙන් ඔබ්බට ගොස් ක්‍රියාත්මක වීමේ හැකියාවක් පවතින බවට බිල් ගේට්ස් අනාවැකි පළ කර තිබේ. මෙම අදහස තහවුරු කරන තවත් ප්‍රබල හඬක් වන්නේ මෑතකදී 'ඇන්ත්‍රොපික්' නම් ප්‍රධාන කෘතිම බුද්ධි සමාගමෙන් ඉවත් වූ බ්‍රිතාන්‍ය පර්යේෂක ජේකොබ් කොක්සන්ගේ අනතුරු ඇඟවීමයි. පාලනයෙන් තොර වන මෙම තාක්ෂණය සමස්ත මිනිස් සංහතියටම තර්ජනයක් විය හැකි බව පවසන ඔහු, එහි බලය අවතැන් නොකරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
කෙසේ වෙතත්, මෙම තාක්ෂණික පෙරළිය හරහා සමස්තයක් ලෙස ලෝකයට වැඩි සමෘද්ධියක් අත්වනු ඇති බවට ගේට්ස් මහතා අපේක්ෂා කරයි. එහෙත් ඒ හරහා මතුවන මහා පරිමාණ රැකියා වියළීම මඟහරවා ගැනීම සඳහා රජයන් කඩිනමින් අධ්‍යාපන සහ පුහුණු වැඩසටහන් හරහා මැදිහත් විය යුතු බව ඔහු අවධාරණය කරයි. භූ දේශපාලනික ආතතීන් ඉහළ යමින් පවතින සහ දැඩි තරඟකාරී අභියෝග පවතින මෙවැනි වකවානුවක, රටවලට මෙවැනි සංකීර්ණ සහ දුෂ්කර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම දැඩි අභියෝගයක් වනු ඇති බවද ඔහු පෙන්වා දෙයි.
මෙම තත්ත්වය අවබෝධ කරගනිමින්, රැකියා අහිමිවීමේ අවදානම සහ සේවක සුරක්ෂිතතාව පිළිබඳව අවධානය යොමු කර සේවකයන් අමතක නොකරන නව ප්‍රවේශයක් ඉදිරි අයවැය මඟින් හඳුන්වා දීමට චාන්සලර් ජෝන් හීලි අපේක්ෂා කරයි. ඒ අනුව, කෘතිම බුද්ධිය ආර්ථික වර්ධනය සඳහා උපයෝගී කරගන්නා අතරම එහි ඇති අවදානම්වලින් ආරක්ෂා වීම වෙනුවෙන් ඉදිරියේදී මිලියන සංඛ්‍යාත මුදලක් වෙන් කිරීමට නියමිතය.