43-year-old-married-man-who-threw-his-phone-number-into-his-daughters-lap-is-tricked-by-his-mothers-call

ඉකුත් 29 වැනිදා කළුතරට නුදුරු පාසලක නවවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් පාසල නිම වී බස් රථයකින් නිවෙස බලා යමින් සිටියාය. එම ගමනේදී ඇය අසලින් අසුන් ගත් නාඳුනන පුද්ගලයෙකු ඇයට අනවශ්‍ය ලෙස තෙරපෙමින් හිරිහැර කිරීමට උත්සාහ කළ බව දැරිය දකුණු කළුතර පොලිසියට ප්‍රකාශ කර තිබේ.

බස් රථයෙන් බැස යාමට පෙර එම පුද්ගලයා සිය දුරකතන අංකය ලියූ කුඩා කොළ කැබැල්ලක් ඇයගේ ඔඩොක්කුවට දමා ගියේය.




මෙවැනි අනපේක්ෂිත සිදුවීමකදී නිහඬ නොවූ දැරිය, එම දුරකතන අංකය සහිත කොළ කැබැල්ල රැගෙන ගොස් තම පියාට ලබා දුන්නාය. ඉන් අනතුරුව දැරියගේ මවුපියන් එක්වූයේ මෙම පුද්ගලයා නීතියේ රැහැනට කොටු කර දීමේ උපක්‍රමශීලී සැලසුමක් ක්‍රියාත්මක කිරීමටයි. එහිදී දැරියගේ මව දියණිය මෙන් කතා කරමින් අදාළ දුරකතන අංකයට ඇමතුමක් ලබා දුන් අතර, ඉතා සූක්ෂම ලෙස සැකකරුව කළුතර නගරයට ගෙන්වා ගැනීමට ඇය සමත් වූවාය.

මවුපියන්ගේ සැලසුමට අනුව ඉකුත් 02 වැනිදා කළුතර බස් නැවතුම්පොළේ කිරිහල අසල සැකකරු රැඳී සිටියේය. පසුව දැරිය ඔහු හමුවීමට ගිය අතර, ඇයට ආරක්ෂාව සපයමින් ඇගේ පියා සහ මාමලා දෙදෙනකු ද රහසිගතව ඒ අසල රැඳී සිටියහ. කිරිහල අසලදී දැරිය හමුවූ සැකකරු ඇයගේ අතින් අල්ලාගෙන දකුණු කළුතර දුම්රිය ස්ථානය දෙසට ගමන් කිරීම ආරම්භ කළේය. ඒ දෙස අවධානයෙන් බලා සිටි පියා සහ මාමලා දෙදෙනා වහාම ක්‍රියාත්මක වී ඔහුව අල්ලාගෙන දකුණු කළුතර පොලිසියට භාර දුන්හ.




පොලිසියට භාර දීමෙන් පසු සිදුකළ විමර්ශනවලදී සැකකරුගේ අනන්‍යතාව අනාවරණය විය. ඔහු බණ්ඩාරගම, කිරීමන්තුඩාව ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි විවාහකයෙකි. තවද ඔහු සේරුපිට සිවිල් ආරක්ෂක බළකා කඳවුරේ සේවය කරන සිවිල් ආරක්ෂක භටයකු බව ද එහිදී හෙළි වී තිබේ.

සිද්ධියට මුහුණ දුන් දැරිය විශේෂ වෛද්‍ය පරික්ෂණයක් සඳහා කළුතර ගල්ලස්ස ළමා රෝහලට ඇතුළත් කර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි බව දකුණු කළුතර පොලිසිය වැඩිදුරටත් වාර්තා කරයි.