3414-vehicles-registered-last-month-most-of-them-wagonr-yaris-and-roomy---electric-vehicle-sales-decline

ජේ. බී.සෙකියුරිටීස් ආයතනය විසින් සිදු කරන ලද නවතම දත්ත විශ්ලේෂණයකට අනුව, ශ්‍රී ලංකාවේ වාහන වෙළෙඳපොළ තුළ කුඩා වාහන සඳහා පවතින ඉහළ ඉල්ලුම තවදුරටත් තහවුරු කරමින්, සැප්තැම්බර් මාසයේ වාහන ලියාපදිංචිය සියයට 18.3කින් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.

 අගෝස්තු මාසයේදී 45,811ක් ලෙස සටහන්ව තිබූ සමස්ත වාහන ලියාපදිංචිය, සැප්තැම්බර් මාසය අවසන් වන විට ඒකක 54,214ක් දක්වා වර්ධනය වී ඇත. විශේෂත්වය වන්නේ, මෙලෙස මාසිකව සිදුවූ වර්ධනයෙන් සියයට 80කට ආසන්න ප්‍රමාණයක් සඳහාම කුඩා වාහන ඍජුවම දායක වී තිබීමයි.




සැප්තැම්බර් මාසයේ සමස්ත වාහන වෙළෙඳපොළෙන් සියයට 81කට වඩා වැඩි ප්‍රතිශතයක් නියෝජනය කරන්නේ ද්වි රෝද සහ ත්‍රිරෝද රථයි. එහිදී ද්වි රෝද රථ ලියාපදිංචිය අගෝස්තු මාසයේ පැවැති ඒකක 33,498 සිට සැප්තැම්බර් මාසයේදී 38,747ක් දක්වාත්, ත්‍රිරෝද රථ ඒකක 3,914 සිට 5,375 දක්වා සියයට 37.3කිනිත් ඉහළ ගොස් තිබේ. ද්වි රෝද රථ වෙළෙඳපොළේ කැපී පෙනෙන සිදුවීමක් වන්නේ, අඛණ්ඩව දෙවන මාසයටත් බජාජ් සමාගම අභිබවා යාමට ටී.වී.එස්. සමාගම සමත් වීමයි. බජාජ් සමාගම ලියාපදිංචි කිරීම් 8,035ක් වාර්තා කරන විට, ටී.වී.එස්. සමාගම ලියාපදිංචි කිරීම් 8,684ක් ලබාගෙන පෙරමුණට පැමිණියේය. මේ අතර හොන්ඩා සමාගම ලියාපදිංචි කිරීම් 7,673ක් වාර්තා කර ඇත. කෙසේ වෙතත්, නව යතුරුපැදි කාණ්ඩයේ පෙරමුණ බජාජ් සමාගම විසින් ද, ස්කූටර් කාණ්ඩයේ පෙරමුණ හොන්ඩා සමාගම විසින් ද දිනාගනු ලැබීම සැලකිය යුතු කරුණකි. මෙම වාහන මිලදී ගැනීම්වලදී ද්වි රෝද රථ සඳහා සියයට 54.4ක ප්‍රමාණයක් මූල්‍ය පහසුකම් ලබාගෙන තිබේ.

මෝටර් රථ කාණ්ඩය ද පසුගිය මාසයේදී ප්‍රබල පිබිදීමක් පෙන්වා ඇත. සමස්ත මෝටර් රථ ලියාපදිංචිය ඒකක 2,609 සිට 3,414 දක්වා සියයට 30.9කින් වර්ධනය වී ඇත. මින් භාවිත කළ මෝටර් රථ ඒකක 1,978 සිට 2,729 දක්වාත්, සම්පූර්ණයෙන්ම නව මෝටර් රථ ඒකක 631 සිට 685 දක්වාත් ඉහළ ගොස් තිබේ. මෙහිදී පැහැදිලිව දක්නට ලැබෙන ප්‍රවණතාව නම්, එන්ජින් ධාරිතාව සීසී 1,000ට අඩු කුඩා මෝටර් රථ සඳහා ගැනුම්කරුවන් දක්වන අඛණ්ඩ ආකර්ෂණයයි. දත්තවලට අනුව නව මෝටර් රථවලින් සියයට 96.5ක් සහ භාවිත කළ මෝටර් රථවලින් සියයට 98.1ක්ම මෙම කුඩා කාණ්ඩයට අයත් වේ.




භාවිත කළ මෝටර් රථ අංශයේ නිරවුල් ආධිපත්‍යයක් ගොඩනගා ගැනීමට සුසුකි සමාගම සමත් වූයේ, වැගන් ආර් රථ 770ක් ඇතුළුව සමස්ත ඒකක 946ක් ලියාපදිංචි කරමිනි. යාරිස් සහ රූමි මාදිලි පෙරටු කරගත් ටොයෝටා සමාගම ඒකක 683ක් සමගින් එහි දෙවන ස්ථානයටත්, ඩයිහට්සු සමාගම ඒකක 542ක් සහ නිසාන් සමාගම ඒකක 405ක් වශයෙන් ද වාර්තා කර ඇත. අනෙක් අතට, සම්පූර්ණයෙන්ම නව මෝටර් රථ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට BYD සමාගම සමත් වී තිබේ. ලියාපදිංචි වූ සමස්ත නව ඒකක 338න් 316ක්ම ඔවුන්ගේ ATTO 1 මාදිලියට අයත්ය. ඊට අමතරව BAW සමාගම E7s මාදිලියේ රථ 67ක් ද, පෙරොඩුවා සමාගම වාහන 48ක් ද ලියාපදිංචි කර තිබේ. සමස්ත මෝටර් රථ ලියාපදිංචියෙන් සියයට 47ක් සඳහා මූල්‍ය පහසුකම් භාවිත කර ඇත.

පහසුකම් සපිරි එස්.යූ.වී. සහ ක්‍රොස්ඕවර් වාහන සඳහා ද ඉල්ලුම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර, එහි ලියාපදිංචිය ඒකක 3,226 සිට 3,941 දක්වා සියයට 22.2කින් වර්ධනය වී තිබේ. රයිස් මාදිලියේ රථ 1,032ක් ඇතුළුව සමස්ත ඒකක 1,357ක් ලියාපදිංචි කළ ටොයෝටා සමාගම මෙහි පෙරමුණ ගත් අතර, වෙනෙසල් මාදිලිය ප්‍රමුඛ කරගත් හොන්ඩා සමාගම ඒකක 753ක් ද, ෆ්‍රොන්ක්ස් මාදිලි 385ක් ඇතුළුව සුසුකි සමාගම ඒකක 394ක් ද වාර්තා කර ඇත. මෙම වාහන කාණ්ඩය සඳහා මූල්‍ය පහසුකම් ලබාගැනීම සියයට 43.9ක් ලෙස සටහන්ව තිබේ. මේ අතර හයිබ්‍රිඩ් වාහන ලියාපදිංචිය 1,942 සිට 2,168 දක්වා ඉහළ ගිය අතර, ඉන් ඒකක 2,117ක්ම එස්.යූ.වී. සහ ක්‍රොස්ඕවර් මාදිලියට අයත් වීම සුවිශේෂීය.



පරිසර හිතකාමී විදුලි වාහන ලියාපදිංචිය ද සියයට 19ක වර්ධනයක් අත්කරගනිමින් අගෝස්තු මාසයේ පැවති 5,084 සිට සැප්තැම්බර් මාසයේදී 6,048 දක්වා ඉහළ ගියේය. නමුත් මෙහි විමසිලිමත් විය යුතු ප්‍රධාන කරුණක් වන්නේ, ඉන් සියයට 83කට ආසන්න ප්‍රමාණයක් එනම් ඒකක 5,030ක්ම විදුලි ද්වි රෝද රථ වීමයි. සැප්තැම්බර් මාසයේ විදුලි මෝටර් රථ ලියාපදිංචි වී ඇත්තේ ඒකක 495ක් පමණක් වන අතර, එයින් ඒකක 338ක්ම BYD සමාගම සතු විය.

මගී වාහන වෙළෙඳපොළට අමතරව වාණිජ වාහන අංශයේ ද සැලකිය යුතු ප්‍රගතියක් වාර්තා විය. පික්අප් රථ 317 සිට 361 දක්වා ද, කුඩා ට්‍රක් රථ 190 සිට 246 දක්වා ද, මධ්‍යම ප්‍රමාණයේ ට්‍රක් රථ 336 සිට 386 දක්වා ද වර්ධනයක් පෙන්වා ඇත. එහෙත් බරපතල ගණයේ ට්‍රක් රථ ලියාපදිංචිය ඒකක 218 දක්වාත්, බස් රථ ලියාපදිංචිය 235 දක්වාත් පහත වැටී තිබේ. මෙහිදී කෘෂිකාර්මික අංශයේ වෙනසක් පෙන්නුම් කරමින් විශාල ට්‍රැක්ටර් ලියාපදිංචිය ඒකක 136 සිට 273 දක්වා දෙගුණයකටත් වඩා වැඩි වී ඇති අතර, ඉන් සියයට 78.8කටම මූල්‍ය පහසුකම් ලබාගෙන තිබීම ද විශේෂත්වයකි.

ආනයනික වාහනවලට අමතරව දේශීය කර්මාන්තයට ද ධනාත්මක සලකුණු එක් කරමින්, මෙරට එකලස් කරන ලද වාහන ලියාපදිංචිය ද අගෝස්තු මාසයේ පැවති ඒකක 4,324 සිට 4,999 දක්වා ඉහළ ගොස් ඇත. ද්වි රෝද රථ ප්‍රමුඛ කරගත් මෙම වර්ධනය, ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය මේ වන විට කුඩා සහ ආර්ථිකමය වශයෙන් වාසිදායක විකල්පයන් මත විශාල වශයෙන් රඳා පවතින බව මනාව සනාථ කරයි.