when-the-court-questioned-lalith-kugan-about-being-kidnapped-in-a-white-van---gota-said-i-dont-remember

දෙදහස් එකොළහ වසරේදී යාපනයේදී දේශපාලන ක්‍රියාකාරීන් දෙදෙනෙකු අතුරුදන් වීමේ සිද්ධියට අදාළව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවක් සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ සාක්ෂි ලබා දුන්නේය. අද පස්වරු එකයි විස්සට පමණ ඔහු අධිකරණයට පැමිණි අතර, ඉන් විනාඩි දහයකට පමණ පසු මෙලෙස සාක්ෂි විමසීමේ කටයුතු ආරම්භ කෙරිණි.




මෙම නඩුව ගොනු කර ඇත්තේ 2011 වසරේ දෙසැම්බර් 09 වනදා ජාත්‍යන්තර මානව හිමිකම් දිනයට සමගාමීව අතුරුදන් වූවන්ගේ පවුල්වල ඥාතීන් වෙනුවෙන් යාපනයේ ආවරංගල් ප්‍රදේශයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමට සූදානම් වෙමින් සිටියදී ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් යන දේශපාලන ක්‍රියාකාරීන් දෙදෙනා සුදු වෑන් රථයකින් පැහැරගෙන යාමේ සිදුවීමක් මුල් කරගනිමිනි.

මේ සම්බන්ධයෙන් එවකට රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඔවුන් ජීවතුන් අතර සිටින බවට මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබූ අතර, ඒ පිළිබඳව කළ විමර්ශනවලදී ඔහු පවසා තිබුණේ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ දැනුම් දීමක් මත තමන් එම ප්‍රකාශය සිදු කළ බවයි. ඒ අනුව 2019 වසරේ මාර්තු මාසයේදී සාක්ෂි ලබා දීම සඳහා ගෝඨාභය රාජපක්ෂට අධිකරණයෙන් නොතීසි නිකුත් කළද, ආරක්ෂක හේතූන් මත ඔහු සාක්ෂි ලබාදීම මඟහරිමින් සිටි අතර පසුව ජනාධිපති ධුරයට ද පත් විය. කෙසේ වෙතත්, පසුගිය පෙබරවාරි 06 වනදා ඔහුගේ නීතිඥයින් කළ ඉල්ලීමකට අනුව ජුනි 02 වනදා අධිකරණය විසින් ඔහුට මාර්ගගත ක්‍රමය හරහා සාක්ෂි දීමට අවසර ලබා දෙන ලදී.




පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේගේ මෙහෙයවීම මත යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ සිට අදාළ සාක්ෂි සටහන් කරගැනීම සිදු කරන ලදී. එහිදී ප්‍රශ්න කිහිපයකටම පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, සිද්ධිය වී විශාල කාලයක් ගතවී ඇති බැවින් තමන්ට ඒ පිළිබඳව මතකයක් නොමැති බවයි. තවද, පුද්ගලයින් පැහැර ගැනීම් සහ අතුරුදන් කිරීම් සඳහා හමුදාව මෙන්ම බුද්ධි අංශ සම්බන්ධ බවට ඇතැම් පාර්ශ්ව චෝදනා නගන්නේ හුදෙක් දේශපාලන වාසි ලබා ගැනීමට සහ රටේ නමට හානි කිරීමේ අරමුණින් බව ද ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

ඔබ පිළිගන්නවා ද රටක සිවිල් ජනතාව අතුරුදන් වෙනවා නම් එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව?



පුද්ගලයින් විවිධ හේතු මත අතුරුදන් වෙනවා. එතකොට ඒ සම්බන්ධව පොලිසිය විශේෂයෙන් ක්‍රියාත්මක වෙනවා. සෑම අතුරුදන්වීමක්ම ආරක්ෂක කවුන්සිලයට වාර්තා වෙන්නේ නැහැ. තොරතුරු ලැබිලා තියෙන අවස්ථාත් තියෙනවා. විශේෂ අවස්ථා නම් තොරතුරු ලැබිලා තියෙනවා.

මාධ්‍යවේදී කීත් නොයා ඔබට මතකද?

මතකයි. මට ඒ සිද්ධිය යම්තාක් දුරට මතකයි. විස්තර මතක නෑ.

යම්තාක් දුරකට මතකයි කිව්වේ කුමක්ද?

සිද්ධියක් වුණා කියලා මතකයි. මම ඒකට අද සූදානම් වෙලා ආවේ නැහැ. ඒකයි මම යම්තාක් දුරකට මතකයි කිව්වේ.

කීත් නොයා අතුරුදන් වූ බව ඔබට මතකද?

ස්වාමීනී, මම දන්න තරමින් කීත් නොයා අතුරුදන් වෙලා නැහැ.

ඔහුව යම් පිරිසක් පැහැරගෙන ගොස් වධ හිංසාවට ලක් කළ බව ඔබ දන්නවාද?

ඔහුව පැහැර ගැනීමට ලක් වූ බව දන්නේ නෑ. නමුත් අතුරුදන් වෙලා හමු වුණා කියලා දන්නවා.

ඔහු අතුරුදන් කියලා ඔබට දුරකථන ඇමතුමක් ආවා මතකද?

අවුරුදු පහළොවකට කලින් වෙච්ච දෙයක්. දැන් මට මතක නෑ. කවුද දුරකථනයෙන් කතා කළේ කියලා.

ඔබ එවකට හිටපු පොලිස්පති ජයන්ත වික්රමරත්නට ඒ පිළිබඳව දැනුම් දුන්නා ඔබට මතකද?

මම එහෙම සිද්ධියක් දැනගත්තා නම් මම ඒ පිළිබඳ පොලිස්පතිවරයාට දැනුම් දීලා ඇති.

ඔබ ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් හෙද විතානයට ඒ පිළිබඳව දැනුම් දුන්න කියා මතකද?

මේ ගොඩක් කාලයකට පෙර වූ දෙයක්. මට ඒ නිසා ඒ පිළිබඳ මතක නැහැ දැන්.

කීත් නොයාට බරපතල තුවාල සිදුකර ඔහුව පසුව යම් ස්ථානයකට අතහැර දමා තිබූ බව ඔබ දන්නවාද?

මට මතක නෑ ස්වාමීනී.

මම යෝජනා කරනවා ඔබට, කීත් නොයා පැහැරගෙන ගොස් ඝාතනය නොකර මුදා හැරියේ ඔබේ විධානය මත කියලා.

මම එය ප්‍රතික්ෂේප කරනවා ස්වාමීනී. මම මුලින්ම කිව්වා එහෙම සිද්ධියක් වුණා. ඒක මොන විදිහකට වුණාද, කවුරු කළාද මම දන්නේ නෑ. අනික අවුරුදු පහළොවකට පස්සේ ඇහුවම මට මතක නෑ.

මම යෝජනා කරනවා ඔබට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙදහස් දහස් හතේ ජනවාරි මාසයේ වාර්තාවක ඔබ ඒ සම්බන්ධව නියෝජ්ය පොලිස්පතිවරයාට වාර්තා කර තිබෙනවා කියලා.

ඒ සම්බන්ධව මට මතක නැහැ.

ඔබට මතකද අදාල සිද්ධිය සම්බන්ධව යුධ හමුදා ත්රිපෝලි අනුකාණ්ඩයේ නිලධාරීන් පස් දෙනෙක් සැකකරුවන් ලෙස නම් කළා කියලා?

නෑ ස්වාමීනී. මම දන්නේ නැහැ.

මම ඔබට යෝජනා කරනවා ඔබ එවකට ආරක්ෂක ලේකම් විදිහට පැහැර ගැනීම් සහ අතුරුදන්වීම සම්බන්ධව රිජුව මැදිහත් වෙලා උපදෙස් දුන්නා කියලා.

මම එය ප්‍රතික්ෂේප කරනවා. මම භූමියේ කිසිම ක්‍රියාන්විතයකට සම්බන්ධ වී නැහැ. මට ආරක්ෂක ලේකම්වරයා ලෙස තිබූ රාජකාරිය වන්නේ රජයෙන් ගන්නා ප්‍රතිපත්ති ඒ ආයතන වෙත සම්ප්‍රේෂණය කිරීම. මම රිජුව භූමියේ ක්‍රියාන්විතයන්ට සම්බන්ධ වෙලා නැහැ.

අද දින මෙම සාක්ෂි සටහන් කර ගැනීම අවසන් කෙරුණු අතර, අදාළ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 27 වනදා යළි පැවැත්වීමට අධිකරණය විසින් නියම කරනු ලැබීය.