they-demanded-a-ransom-of-500-rupees-per-cube-to-remove-the-sand-layers

දිට්වා සුළි කුණාටු සමයේදී කුඹුරු යායවල එකතු වූ වැලි තට්ටු ඉවත් කිරීමේ කටයුතුවල නිරතව සිටි කොන්ත්‍රාත්කරුවෙකුගෙන්, ඉවත් කරනු ලබන සෑම වැලි කියුබ් එකක් සඳහාම රුපියල් 500 බැගින් කප්පම් ඉල්ලූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකුට එරෙහිව පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත. ඊයේ (02) පස්වරුවේ ආරච්චිකට්ටුව පොලීසිය වෙත මෙම පැමිණිල්ල ලැබී ඇති බව වාර්තාවේ.




දිට්වා සුළි කුණාටුව පැවැති අවස්ථාවේදී ආනවිලුන්දාව සහ සුරුවිල යන වැව් බැමි කඩාගෙන යාම හේතුවෙන් කුඹුරු යායවල් තුළට විශාල ලෙස වැලි එකතු වී තිබිණි. මෙලෙස එකතු වූ වැලි ඉවත් කර ගැනීම සඳහා අදාළ කොන්ත්‍රාත්කරු විසින් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සහ සුරුවිල ගොවි සමිතියෙන් නිසි අවසර ලබාගෙන තිබූ බව පොලීසිය සඳහන් කරයි.

කුඹුරු යායවල ගොඩගැසී තිබූ වැලි එම කුඹුරු යායේම පැත්තකට ගොඩගැසීමේ කටයුතුවල කොන්ත්‍රාත්කරු නිරතව සිටියදී, අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා එම ස්ථානයට පැමිණ ඇත. එහිදී ඉවත් කරන එක් වැලි කියුබ් එකක් සඳහා රුපියල් 500 බැගින් තමාට අවශ්‍ය බව මන්ත්‍රීවරයා පැවසූ බවත්, ඒ අනුව එම කර්මාන්තයේ නිරත වූ පුද්ගලයා විසින් පොලීසිය වෙත මෙසේ පැමිණිලි කර ඇති බවත් සඳහන් වේ.




ලැබුණු මෙම පැමිණිල්ලට අනුව අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.