case-involving-death-caused-by-parents-refusal-to-donate-blood-to-a-child-with-thalassemia

තැලසීමියා රෝගයෙන් පෙළුණු තම දරුවාට රුධිරය ලබා දීම ප්‍රතික්ෂේප කිරීම නිසා දරුවා මියයාමේ සිද්ධියට අදාළව ගුරුවරියක වන මවකට සහ පියාට එරෙහිව පවරා ඇති නඩුවේ දේශන එළඹෙන ඔක්තෝබර් 09 වනදා ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර මහාධිකරණය නියෝග කර තිබේ. උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු ඉන්දික අත්තනායක මහතා විසින් පැමිණිලිකාර සහ විත්තිකාර පාර්ශ්වයන් වෙත මෙම නියෝගය නිකුත් කර ඇත.




මෙම සිද්ධියේදී එච්.එම්. සමරකෝන් බණ්ඩාර සහ ගුරුවරියක වන පී.ජී. අශීරාංගනී තෙන්නකෝන් නමැති අඹුසැමි යුවළ වෙත අධිචෝදනා ගොනු කර තිබේ. 2003 වසරේ මාර්තු 21 වන දිනට ආසන්න කාලයේදී අනුරාධපුරයේදී හේරත් මුදියන්සේලාගේ අල්ලේගෙල අනුෂ්ක නාමල් බණ්ඩාර නමැති තම දරුවාට රුධිරය දීමට විරුද්ධ වීම සහ කැමැත්ත නොදැක්වීම මගින් දරුවා නොසලකා හැරීම හා හිංසා කිරීම සම්බන්ධයෙන් 1995 අංක 22 දරන පනතින් සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහයේ 308 ආ (2) වගන්තිය යටතේ මොවුන්ට එරෙහිව වරදක් කර ඇති බවට චෝදනා ලබා ඇත. ඊට අමතරව දණ්ඩ නීති සංග්‍රහයේ 298 වැනි වගන්තිය යටතේ සදොස් මනුෂ්‍ය ඝාතනයක් නොවන මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ වරද සම්බන්ධයෙන් ද නීතිපතිවරයා විසින් අනුරාධපුර මහාධිකරණය හමුවේ මෙම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.

තැලසීමියා රෝගී දරුවාට රුධිරය දීමට දෙමාපියන් විරුද්ධ වීමෙන් සිදු වූ මෙම මරණය පිළිබඳ මාධ්‍ය වාර්තා සැලකිල්ලට ගනිමින් ළමාරක්ෂක කොමසාරිස්වරයා අනුරාධපුර මහේස්ත්‍රාත්වරයාට කරන ලද පැමිණිල්ලකට අනුව අනුරාධපුර මූලස්ථාන පොලීසිය මගින් පරීක්ෂණ ආරම්භ කරන ලදී. ඒ අනුව අධිකරණ නියෝග මත ගොඩගත් දරුවාගේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අනුරාධපුර ශික්ෂණ රෝහලේ හිටපු විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ධනංජය වෙදප්‍රශස්ත මහතා විසින් පවත්වන ලද අතර, පසුව සැකකාර මව්පියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.




අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.එම්. සෙනරත් දයානන්ද බණ්ඩාර මහතා පොලීසියට ලබා දුන් ප්‍රකාශයකට අනුව, අනුරාධපුර ශික්ෂණ රෝහලේ 5 වැනි වාට්ටුවට ඇතුළත් කළ මෙම දරුවාට රුධිරය ලබා දිය යුතු බව දන්වා තිබුණද, තමන් අදහන ආගමට අනුව යාඥා කර දරුවා සුවපත් කළ හැකි බව පවසමින් දෙමාපියන් ඊට විරුද්ධ වී ඇත. දරුවාගේ ජීවිතය බේරාගැනීමට රුධිරය දීම අනිවාර්ය වූ බැවින් දරුවා ළමා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ අතර, එහි රාජකාරි කළ වෛද්‍යවරියටද දෙමාපියන් බලපෑම් කර තිබේ. දෙමාපියන්ගේ මෙම බලපෑම සහ නොසලකා හැරීම හේතුවෙන් දරුවාගේ රෝගී තත්ත්වය උත්සන්න වී දරුවා මියගිය බව වෛද්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති මූලික නිරවුල් නොවන විභාගයෙන් අනතුරුව මෙම නඩුව වැඩිදුර විභාගය සඳහා අනුරාධපුර මහාධිකරණය වෙත යොමු කරන ලදී. පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් රජයේ අධිනීතිඥ නිරෝෂ් ද සිල්වා මහතා පෙනී සිටින අතර (මුල් අවස්ථාවේදී රජයේ අධිනීතිඥ යොමලී නාගොඩවිතාන මහත්මිය පෙනී සිටියාය), විත්තිකාර මව්පියන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ගවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පෙනී සිටියි. හිටපු විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ධනංජය වෙදප්‍රශස්ත මහතා ඇතුළු පිරිසක් මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කරනු ලබා සිටිති.