
පන්නල නගර මධ්‍යයේ සිදුවූ උද්වේගකර අත්අඩංගුවට ගැනීමක් පිළිබඳ දර්ශන පෙළක් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ සීඝ්‍රයෙන් ප්‍රචාරය වෙමින් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්විය. මාර්ගයේ ගමන් ගත් වාහන හා පදිකයන්ට පවා අනතුරක් සිදුවිය හැකි අන්දමින් ධාවනය වූ සුඛෝපභෝගී මෝටර් රථයකට වෙඩි තබා, එහි සිටි පිරිස පොලිස් භාරයට ගන්නා ආකාරය එම වීඩියෝ දර්ශනවල සටහන්ව තිබිණි.
කිසිදු හෝඩුවාවක් ඉතිරි නොකර තාක්ෂණය යොදාගනිමින් සිදුකරගෙන ගිය අමුතුම තාලේ මත්ද්‍රව්‍ය ජාවාරමක සුරුට්ටුව ලිහාගැනීමට ගිරිඋල්ල පොලීසිය සමත් වීම මෙම අත්අඩංගුවට ගැනීමට පදනම් වී තිබේ. මොවුන්ගේ උපාය වී ඇත්තේ දියණිය හා මව සමග පවුලේ ගමනක් යන ආකාරයට ගමන් කරමින් ඉතා සූක්ෂ්ම ආකාරයට මත්ද්‍රව්‍ය බෙදාහැරීමය.ඒ සඳහා ප්ලාස්ටික් බට කැබලිවලට හෝ මත්පැන් බෝතල් මූඩි තුළට මත්ද්‍රව්‍ය අසුරා ගැනීම සිදුකර තිබුණි. මෝටර් රථයේ සිටම ඒවා නම් කළ ස්ථාන වලට රැගෙනගොස් මූඩි අතාරින අතර මිලදී ගැනීමට මුදල් ගෙවූ අයට මූඩි වැටී ඇති ස්ථාන වල ඡායාරූප සහ ජීපීඑස් ලොකේෂන් (Location) යැවීමෙන් පසු නාඳුනන සේ ඒවා අහුලාගැනීම සිදුව ඇති අතර මෙම ක්‍රමය නිසා මත් කුඩු බෙදාහැරීම සම්බන්ධ සාක්ෂි ලබාගැනීමට කිසිවෙකුට ඉඩකඩ සීමිතය.
ගිරිඋල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස මෑතකදී වැඩ භාරගත් ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරපක්ෂ මහතා ප්‍රදේශයේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අනීතික ක්‍රියා මැඩලීම සඳහා පෞද්ගලික ඔත්තුකරුවන් මාර්ගයෙන් විශේෂ තොරතුරු රැස්කිරීමක නිරතව සිටියේය. ඒ අතරතුර, මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරත ප්‍රධාන ජාවාරම්කරුවෙකු පිළිබඳව ලැබුණු තොරතුරකට අනුව දින කිහිපයක් තිස්සේ මෙහෙයුම් ක්‍රියාත්මක කළද සැකකරු කොටුකර ගැනීමට අවස්ථාවක් නොලැබිණි. කෙසේ වෙතත්, ඉකුත් 22 වැනිදා උදෑසන 7.35 ට පමණ අදාළ ඔත්තුකරුගෙන් ලැබුණු හදිසි ඇමතුමකින් කියැවුණේ, අදාළ ජාවාරම්කරු කාන්තාවන් දෙදෙනෙකුද සමඟ මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කුරුණෑගල පහේ පාර ඔස්සේ ගිරිඋල්ල පසුකර පන්නල දෙසට සුඛෝපභෝගී ටොයෝටා ප්‍රියස් වර්ගයේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටින බවයි. එමෙන්ම අදාළ රථයේ අංකය සහ වර්ණය ඇතුළු තොරතුරු රැසක්ද පොලීසිය වෙත ලැබී තිබිණි.
ලද තොරතුරත් සමඟ ක්‍රියාත්මක වූ ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පොලිස් ජීප් රථයෙන් අදාළ මෝටර් රථය සොයා පන්නල දෙසට වේගයෙන් ගමන් කළහ. කිලෝමීටර් 11 කට ආසන්න දුරක් පැය බාගයකට ආසන්න කාලයක් හඹා ගිය පොලිස් කණ්ඩායමට පන්නල නගරය ආසන්නයේදී දැඩි වාහන තදබදයකට හසුව තිබූ සැකකටයුතු මෝටර් රථය නිරීක්ෂණය විය. වහාම පන්නල පොලිස් ස්ථානාධිපතිවරයාද දැනුවත් කළ ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපතිවරයා පන්නල ඔරලෝසු කණුව අසලදී මෝටර් රථයට ඉස්සර කර ජීප් රථය හරස් කළද, සැකකටයුතු රථය කුඩා ඉඩ අතරින් රිංගා යාමට උත්සාහ කළේය. පසුව මාර්ගයේ ගමන් කළ ට්‍රක් රථ දෙකක් යොදාගනිමින් ගමන අවහිර කළද, අනතුරුදායක ලෙස පලායාමට දැරූ උත්සාහය හමුවේ ස්ථානාධිපතිවරයාගේ නියෝග මත පොලිස් නිලධාරියෙකු විසින් ටී-56 ගිනිඅවියකින් මෝටර් රථයේ දකුණු පස පිටුපස රෝදයට වෙඩි තබා ගමන නතර කරන ලදී. පසුව වීදුරු කඩා දොරගුළු විවෘත කර රියදුරු අසුනේ සිටි පුද්ගලයා සහ පසුපස අසුනේ සිටි කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලදී.
පෙරවරු 8.05 ට පමණ සිදුවූ මෙම වැටලීමේදී මෝටර් රථය තුළ තිබී හෙරොයින් ග්‍රෑම් 15 යි මිලිග්‍රෑම් 260 ක් සහ රුපියල් නව ලක්ෂ විසිහතරදහස් සසිය හැත්තෑවක මුදලක් සොයාගන්නා ලදී. අත්අඩංගුවට පත් ප්‍රධාන සැකකරු 36 හැවිරිදි ප්‍රසන්න කුමාර නමැති ගිරාන, නාරංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු අපරාධ ගණනාවකට සම්බන්ධ අධිකරණවල නඩු පවතින අයෙකි. ඔහු සමඟ සිටි 39 හැවිරිදි සුමාලි ශානිකා නමැති කාන්තාව ඔහුගේ අනියම් බිරිඳ වන අතර ඇයටද අධිකරණයේ නඩුවක් පවතී. අත්අඩංගුවට පත් අනෙක් 16 හැවිරිදි තරුණිය ඇගේ දියණියයි.
මෙම ජාවාරම්කරුවන් අනුගමනය කළ සූක්ෂ්ම බෙදාහැරීමේ ක්‍රමවේදය පිළිබඳව පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙළි විය. ප්ලාස්ටික් බට කැබලිවලට හෝ මත්පැන් බෝතල් මූඩි තුළට මත්ද්‍රව්‍ය අසුරා ධාවනය වන මෝටර් රථයේ සිටම ඒවා නියමිත ස්ථානවලට විසි කිරීම මොවුන්ගේ සිරිත වී තිබිණි. ඉන්පසු සැකකරු සතු ස්මාර්ට් ජංගම දුරකථන යොදාගනිමින් එම මත්ද්‍රව්‍ය අඩංගු නළ හෝ මූඩි වැටී ඇති ස්ථානයේ ඡායාරූපයක් සහ ජීපීඑස් ලොකේෂන් (Location) සටහන අදාළ ගැණුම්කරු වෙත යැවීම සිදු කර ඇත. නෙළුම්දෙනිය ප්‍රදේශයේ සිට මෙම රථයෙන්ම මෙතෙක් පොලීසියට කොටු නොවී දීර්ඝ කාලයක් තිස්සේ මෙම උපක්‍රමය මඟින් මත්ද්‍රව්‍ය ජාවාරම පවත්වාගෙන ගොස් තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් නෙළුම්දෙනිය ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි දෙමහල් නිවසේ ඉහළ මහල පරීක්ෂා කිරීමේදී තවත් හෙරොයින් ග්‍රෑම් 62 ක්, ජාවාරමෙන් උපයාගත් රුපියල් දහසය ලක්ෂ අසූදහසක මුදලක්, මත්ද්‍රව්‍ය ඇසුරූ ප්ලාස්ටික් ටියුබ් 2,235 ක්, මත්පැන් බෝතල් මූඩි 586 ක්, මත්ද්‍රව්‍ය මැනීමට හා ඇසිරීමට ගන්නා උපකරණ මෙන්ම අඩි 35 ක පමණ සුදු පැහැති බටයක්ද හමු විය. තමන්ට මෙම මත්ද්‍රව්‍ය කොළඹ ප්‍රදේශයෙන් ලැබෙන බව සැකකරු ප්‍රකාශ කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 28 වැනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලැබුණු අතර, 16 හැවිරිදි තරුණිය කුලියාපිටිය මීගහකොටුව ළමා නිවාසයේ රඳවා තැබීමට නියෝග කෙරිණි. කුරුණෑගල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි සහ කුලියාපිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රගති ලක්මිණිගේ උපදෙස් පිට, සහකාර පොලිස් අධිකාරි ලක්මාල් විජේසිංහගේ අධීක්ෂණයෙන්, ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරපක්ෂ මහතා ඇතුළු උප පොලිස් පරීක්ෂක උපනන්ද, පොලිස් සැරයන්වරුන් වන ජානක (33610), විපුලසිරි (33011), චතුරංග (68811) සහ දේශප්‍රිය (75497) යන නිලධාරීහු ඉදිරි විමර්ශන පවත්වති.

