ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමේ සැබෑ අරමුණ හුදෙක් එක් පුද්ගලයෙකු ඉවත් කිරීම පමණක් නොව, දේශපාලන අධිකාරියට, දූෂණයට හා බලවත් පාර්ශ්වයන්ට එරෙහිව නැගී සිටීමට උත්සාහ කරන සෙසු මාධ්‍යවේදීන්ට සහ වෘත්තිකයන්ට බරපතළ අනතුරු ඇඟවීමක් ලබා දීම බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා ප්‍රකාශ කරයි. බලවතුන්ගේ අභිමතයන්ට අභියෝග නොකර, සම්ප්‍රදායික රාමුවලට කොටු වී කටයුතු කරන ලෙසත්, වෙනස් වීමට උත්සාහ නොකරන ලෙසත් කෙරුණු තර්ජනාත්මක පණිවිඩයක් එම ඝාතනය පිටුපස පැවති බව හෙතෙම පෙන්වා දෙයි.
රේන් වික්‍රමතුංග ලියූ කෘතිය පාදක කරගනිමින් මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල විසින් සිංහලට පරිවර්තනය කළ ‘නොසැලුණු නොනැමුණු ලසන්ත’ ග්‍රන්ථය එළිදැක්වීම සහ “And Then They Came for Me” වාර්තා චිත්‍රපටය තිරගත කිරීම නිමිත්තෙන් ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැති උත්සවයකදී අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේය.මෙරට ඉතිහාසය පුරාම ස්ථාපිත බල අධිකාරීන්ට හෝ අක්‍රමිකතාවලට එරෙහි වූ පුද්ගලයන් ඉලක්ක කරගනිමින් මෙවැනි භීෂණාත්මක පණිවිඩ නිරන්තරයෙන් සමාජගත වූ බව සිහිපත් කළ රංග දිසානායක මහතා, මහාචාර්ය සේනක බිබිලේ සහ රේගු අධ්‍යක්ෂ සුජිත් ප්‍රසන්න පෙරේරා වැනි නිලධාරීන්ට අත් වූ ඉරණම ඊට නිදසුන් ලෙස පෙන්වා දුන්නේය. එක් පුද්ගලයෙකු ඉලක්ක කර එල්ල කෙරෙන මෙවැනි ප්‍රහාර මගින් සමස්ත වෘත්තීය ප්‍රජාවම දැඩි පසුබෑමකට ලක්වන බවත්, රේගු අධ්‍යක්ෂවරයාගේ ඝාතනයෙන් පසු ඇතැම් නිලධාරීන් රට හැර යාමට පවා පෙළඹුණු අතර විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යාමට සෙසු නිලධාරීන් තුළ බියක් නිර්මාණය වූ බවත් ඔහු සඳහන් කළේය. මෙවැනි තත්ත්වයන් හමුවේ වැරදිවලට එරෙහිව නැගී සිටීමෙන් තම ජීවිත අවදානමට ලක් කරන්නේද යන්න පිළිබඳව සෙසු වෘත්තිකයන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ද දෙවරක් සිතීමට පෙළඹෙන බව හෙතෙම වැඩිදුරටත් පැහැදිලි කළේය.
ඝාතන සංස්කෘතිය හරහා සමාජය තුළ ගොඩනගා ඇති මෙම භීතිය පරාජය කිරීමේ වගකීම සමස්ත සමාජය සතුව පවතින බව පෙන්වා දුන් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, ලසන්ත වික්‍රමතුංග ඝාතනයෙන් පසුව තවත් බොහෝ දෙනෙකු නිහඬ වීම හේතුවෙන් ඝාතකයන්ගේ අරමුණ සාර්ථක වූ බව ප්‍රකාශ කළේය. සමාජයේ අක්‍රමිකතා හෙළිදරව් කරන වීරයන් අකාලයේ මියයාමේ සම්ප්‍රදාය මින් ඉදිරියට නතර විය යුතු බව අවධාරණය කළ ඒ මහතා, ලසන්ත වැනි වීරයන් ඉදිරියටත් බිහිවිය යුතු නමුත් එම වීරයන්ට මැරෙන්නට නොදී ජයග්‍රහණය කිරීමට ඉඩ සැලසීම සමාජයේ පරම වගකීම බව අවධාරණය කළේය.
අක්‍රමිකතා හෙළිදරව් කිරීම නිසා ජීවිත අහිමි වූ හෝ අතුරුදන් වූවන් වෙනුවෙන් යුක්තිය ඉටු කර ගැනීමේ සම්පූර්ණ බර, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට පමණක් තනිව උසුලන්නට ඉඩ හැරීම සාධාරණ නොවන බවද රංග දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කළේය. ලසන්ත වික්‍රමතුංගගේ හිටපු බිරිඳ වන රේන් වික්‍රමතුංග මෙන්ම අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ වැනි අය වසර ගණනාවක් තිස්සේ තනිව සටන් කිරීම පිළිබඳව ප්‍රශ්න කළ හෙතෙම, අපරාධ නඩු සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නෛතික ක්‍රියාවලිය පවතින අතරතුර, වැරදි හෙළිදරව් කරන්නන් බියගැන්වීමේ උත්සාහයන් පරාජය කිරීම සඳහා සමස්ත සමාජය තවදුරටත් නිහඬව සිටිනවාද නැද්ද යන්න තීරණය කළ යුතු බවද සඳහන් කළේය.
