
ප්‍රවීණ මෝස්තර නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර මහත්මියගේ අකල් වියෝව ක්ෂේත්‍රය මෙන්ම මුළු මහත් සමාජයම දැඩි කම්පනයකට පත් කළ පුවතක් බවට පත්ව තිබේ. ඇය අවසන් හුස්ම හෙළා තිබුණේ කාලයක පටන් ඇගේ පෙම්වතා වූ ප්‍රසිද්ධ නිමි ඇඳුම් ආයතනයක් වන ජීෆ්ලොක් (GFLOCK) හිමිකරු හා ව්‍යාපාරික රනිල් විල්අද්දරගේ මහතාට අයත් නිවසේදීය.
මරණය සම්බන්ධයෙන් සිදුකළ මූලික අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදී ඇගේ සිරුරේ බාහිර හෝ අභ්‍යන්තර වශයෙන් කිසිදු තුවාල සලකුණක් හමුවී නොමැති අතර, මරණයට නිශ්චිත හේතුව සජීවී පටක සහ විෂවේද වාර්තා ලැබෙන තෙක් විවෘත තීන්දුවක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. මෙම සිදුවීම සම්බන්ධයෙන් කිසිදු අයුරක සැකයක් නොමැති බවට අදාළ ආරංචි මාර්ග තහවුරු කර ඇති අතර, දෙදෙනා අතර යම් ගැටුමක් පැවැති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය කටකතා දේශපාලන හා ව්‍යාපාරික තරගකාරිත්වය මත නිර්මාණය වූ අසත්‍ය ප්‍රචාර බවද අනාවරණය වී තිබේ.මේ අතර, මියගිය චූලා පද්මේන්ද්‍ර මහත්මියගේ රෝගී තත්ත්වයෙන් පසුවන ආදරණීය පුතණුවන්ගේ අනාගතය සහ අධ්‍යාපන කටයුතු පිළිබඳ සම්පූර්ණ වගකීම අදාළ ව්‍යාපාරික රනිල් විල්අද්දරගේ මහතා විසින් භාරගෙන තිබේ. ඇගේ අවසන් කටයුතු වෙනුවෙන් අන් කිසිදු පාර්ශවයකින් මුදල් ලබා නොගෙන තනිකරම සිය පෞද්ගලික ධනයෙන් එම කටයුතු සම්පූර්ණ කළ ඔහු, අසරණ වූ දරුවාගේ ඉදිරි පාසල් වියදම් ඇතුළු සියලුම අවශ්‍යතාවන් ඉටුකිරීමට සූදානම් බව තහවුරු කර ඇත. දරුවාගේ ආදරණීය රැකවරණය සහ භාරකාරත්වය චූලාගේ සොහොයුරා විසින් ලබාදෙන අතරතුර, ඔහුගේ අනාගතය වෙනුවෙන් ශක්තිමත් පවුරක් ලෙස සිටීමට රනිල් විල්අද්දරගේ මහතා ඉදිරිපත් වී සිටියි. මීට පෙර චූලාගේ දරුවා පිළිබඳව කිසිවෙකු සොයා නොබලන්නේ නම් එම වගකීම තමන් භාරගන්නා බවට රංගන ශිල්පිනී පියුමි හංසමාලි මහත්මිය ප්‍රකාශ කර තිබුණද, පසුව සිදුවූ හෙළිදරව් කිරීම් සමඟ දරුවාගේ අනාගත සුබසාධනය පිළිබඳව පැවැති සැක සංකා රැසක් නිරාකරණය විය. සමාජ ක්‍රියාකාරී පියත් නිකේෂල මහතා විසින් තැබූ සටහනක් ඔස්සේ මෙම තොරතුරු තහවුරු කෙරුණු අතර, අසත්‍ය මත පදනම්ව පැතිර ගිය ආන්දෝලනාත්මක පුවත් රැසකට එමගින් නිසි පිළිතුරු ලැබිණි.
මෙම සිදුවීමත් සමඟ සමාජ මාධ්‍ය ජාලා තුළ දැඩි සංවාදයක් සහ විවිධ මතවාද රැසක් නිර්මාණය වී ඇති ආකාරය දක්නට ලැබේ. බොහෝ දෙනෙකුගේ අදහස වූයේ තමන් ආදරය කළ කාන්තාව වෙනුවෙන් සහ ඇගේ අසරණ වූ දරුවා වෙනුවෙන් රනිල් විල්අද්දරගේ මහතා දැක්වූ මනුෂ්‍යත්වය සහ වගකීම්සහගතභාවය ඉතා ප්‍රශංසනීය බවයි. අවසන් කටයුතු සිදුකරන මොහොත දක්වාම නොසැලී සිටිමින්, සමාජයේ විවේචන හමුවේ පසුබැස නැතිව මියගිය පෙම්වතියගේ ගෞරවය රැක ගැනීමට ඔහු කටයුතු කළ ආකාරය බොහෝ දෙනාගේ පැසසුමට ලක්විය. දරුවෙකුගේ අනාගතය වෙනුවෙන් සියලු වියදම් දරමින් සිටීම වචනයට විතරක් සීමා නොවූ සැබෑ ආදරයක සහ උතුම් මනුෂ්‍යත්වයේ සංකේතයක් ලෙස පිරිසක් අර්ථගන්වා තිබිණි.
කෙසේවෙතත්, මෙම පුවත සම්බන්ධයෙන් තවත් පිරිසක් දැක්වූයේ පරස්පර හා විවේචනාත්මක අදහස් සමුදායකි. රනිල් විල්අද්දරගේ මහතාගේ පෞද්ගලික පවුල් ජීවිතය සහ අතීතය පදනම් කරගනිමින් ඇතැම් පිරිස් ප්‍රශ්න කර සිටියේ, සිය බිරිඳ සහ දියණියන් දෙදෙනා අතහැර දැමූ පුද්ගලයෙකුගෙන් මෙවැනි මනුෂ්‍යත්වයක් බලාපොරොත්තු විය හැකිද යන්නයි. තවත් සමහරුන්ගේ මතය වූයේ නෛතික පරීක්ෂණවලින් සහ සමාජ අපවාදවලින් බේරීම සඳහා මෙවැනි පියවරයන් ගන්නා බවයි. මෙම සිදුවීම පිටුපස යම් අභිරහසක් පවතින බවටත්, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා එනතෙක් කිසිවෙකු නිදොස් කොට සැලකිය නොහැකි බවටත් ඇතැම් අදහස් දැක්වීම්වල සඳහන් විය. එමෙන්ම, මියගිය තැනැත්තියගේත් ඇගේ පවුලේ අයගේත් පෞද්ගලිකත්වයට ගරු නොකරමින්, හුදෙක් ප්‍රචාරණය සහ මනාප තකා සුදුසු නොවන ඡායාරූප හා පුවත් පළකිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙතද දැඩි චෝදනා එල්ල විය.
ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය භාවිතය තුළ පුද්ගලයෙකුගේ මරණය පවා විවිධ පැතිවලින් වවාගෙන කෑමේ සහ විනිශ්චය කිරීමේ ප්‍රවණතාවයක් පවතින බව මෙහිදී පැහැදිලි වෙයි. එක් පසෙකින් මනුෂ්‍යත්වය සහ ආදරය අගය කරන පිරිසක් සිටින අතර, අනිත් පසින් පෞද්ගලික මඩ ප්‍රහාර සහ චෝදනා එල්ල කරමින් රසවිඳින පිරිසක්ද සිටිති. කෙසේ වෙතත්, මියගිය තැනැත්තියට නිවන් සුව ප්‍රාර්ථනා කරන අතරම, මව් සෙනෙහස අහිමි වූ අහිංසක දරුවාගේ අනාගතය සුරක්ෂිත වීම සමස්ත සමාජයේම එකම අපේක්ෂාව වී තිබේ.