
බද්දේගම - හික්කඩුව ප්‍රධාන මාර්ගයේ ගොඩගම සමුපකාර ගොඩනැගිල්ල ඉදිරිපිටදී පසුගියදා සිදුවූ අමානුෂික වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් කාන්තාවක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ. රතු පැහැති EP 6574 දරන ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි රියදුරා සහ කාන්තාවන් දෙදෙනෙකු මෙලෙස ඉලක්ක කර ඇත.
සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෝටර් රථයකින් පැමිණ ඇති අතර, ඉන් දෙදෙනෙකු T56 ගිනි අවි රැගෙන බැස කිසිදු විමසිල්ලකින් හෝ ඉලක්ක තේරීමකින් තොරව ත්‍රිරෝධ රථයට අඛණ්ඩව වෙඩි ප්‍රහාර එල්ල කර පලාගොස් තිබේ.මෙම වෙඩි තැබීමෙන් අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි සුසිතා ඉරෝෂණී නොහොත් 'කළු නෝනි' නමැති කාන්තාව සහ අම්බලන්ගොඩ මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචි ලලිත් සුසන්ත සිල්වා නමැති ත්‍රිරෝධ රථ රියදුරු එම ස්ථානයේදීම මියගොස් ඇත. ප්‍රහාරයට ලක්වූ අනෙක් කාන්තාව වන්නේ ඝාතනයට ලක්වූ කළු නෝනිගේ මව වන ඩී.එන්.ජී. මල්ලිකා ය. ඇය රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියාය. ත්‍රිරෝද රථ රියදුරාට මෙම පාතාල ගැටුම් සම්බන්ධයෙන් කිසිදු සෘජු සබඳතාවක් තිබුණේද යන්න තහවුරු වී නොමැති වුවත්, ඔහු ද මෙම ප්‍රහාරයට ගොදුරු වී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඝාතනයට ලක්වූ කළු නෝනි නමැති කාන්තාවට දකුණු පළාතේ ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රුවන් කුමාර සිල්වා නොහොත් 'ලොකු පැටී' සමග සමීප සබඳතා පවත්වන බවට බරපතළ චෝදනා එල්ල වී තිබුණි. ලොකු පැටී මේ වන විට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින අතර, ඔහුගේ කල්ලියට පොඩි පැටී, මිදිගම චූටි සහ මිදිගම රුවන් වැනි පුද්ගලයින් ද අයත් වේ. අම්බලන්ගොඩ නගර සභාව ඉදිරිපිට පිහිටි මෝදර දේවාලයේ හිටපු සභාපතිවරයා මෙන්ම 'කරන්දෙනිය සුද්දා' නමැත්තාගේ මස්සිනා ද වන පුද්ගලයා ඝාතනය කිරීමේ සිද්ධියට ඔත්තු බැලීම සහ ඝාතකයින්ට ආයුධ සැපයීම සම්බන්ධයෙන් කළු නෝනිට චෝදනා එල්ල වී තිබූ අතර, අද දින එල්ල වූ ප්‍රහාරය එහි සෘජු පළිගැනීමක් ලෙස සැලකේ. මීට අමතරව, මෑතකදී සිදුවූ ක්ලබ් වසන්ත ඝාතනයට පැමිණි වෙඩික්කරුවන්ට අවශ්‍ය නවාතැන් පහසුකම් සැපයීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වීම පිළිබඳව ද ඇයට එරෙහිව පාතාල කණ්ඩායම් අතර දැඩි මතයක් නිර්මාණය වී තිබී ඇත.
මෙම ඝාතනය ලොකු පැටී සහ කරන්දෙනිය සුද්දාගේ පාර්ශ්ව අතර කලක පටන් ක්‍රියාත්මක වන ලේවැකි පාතාල ගැටුමේ තවත් එක් අදියරක් පමණි. ලොකු පැටී සහ උණවටුනේ ශාන්ත එක් පාර්ශ්වයක් ලෙසත්, කරන්දෙනිය සුද්දා සහ දෙහිගෙදර බාලි වෙනත් පාර්ශ්ව ලෙසත් ක්‍රියාත්මක වෙමින් දිගින් දිගටම වෙඩි තබාගැනීම් සිදුකර ඇත.
මීට පෙර උණවටුනේ ශාන්තගේ නැන්දා සහ මාමා ඝාතනය කිරීමත්, ඊට ඔත්තු බැලූ දෙහිගෙදර බාලිගේ ගෝලයාගේ පියාට ලොකු පැටීගේ කණ්ඩායම විසින් වෙඩි තැබීමත් වැනි සිදුවීම් හරහා මෙම ගැටුම වර්ධනය වී තිබුණි. කරන්දෙනිය සුද්දාගේ සොහොයුරා වන 'කරන්දෙනිය රාජු' ඩුබායි රාජ්‍යයේ සිට රැගෙන විත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රශ්න කර බන්ධනාගාරගත කිරීමෙන් පසු ඔවුන්ගේ පාර්ශ්වය යම් පසුබෑමකට ලක්ව සිටියද, මෙම ප්‍රහාරයත් සමග එම කල්ලිය නැවතත් සක්‍රිය වී ඇති බවක් පෙනෙන්නට තිබේ. කරන්දෙනිය රාජු අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔවුන් සතුව තිබූ T56 ගිනි අවි දෙකක් ද සොයාගැනුණු අතර, අද ප්‍රහාරය සඳහා යොදාගෙන ඇත්තේ ඔවුන් සතුව ඇති තවත් ගිනි අවි තොගයකින් එකක් බවට සැක කෙරේ.
අපරාධකරුවන් කුමන වරදක් කර තිබුණද මෙවැනි ආකාරයේ ප්‍රසිද්ධියේ සිදුකරන ම්ලේච්ඡ ඝාතන රටක නීතියේ ආධිපත්‍යයට බරපතළ තර්ජනයකි. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය ක්‍රියාත්මක වන දකුණු පළාතේ පාසල් දරුවන් සහ සාමාන්‍ය වැසියන් නිතර ගැවසෙන මාර්ගවල මෙලෙස දිවා කාලයේ අවි අමෝරාගෙන වෙඩි තැබීමෙන් කිසිදු සම්බන්ධයක් නොමැති අහිංසක ජීවිතවලට පවා හානි වීමේ දැඩි අවදානමක් පවතී. රථවාහන වැරදි සෙවීම සඳහා මහමග රැඳී සිටින පොලිස් නිලධාරීන් මෙවැනි සංවිධානාත්මක අපරාධ මැඬලීම සඳහා මීට වඩා සක්‍රියව මැදිහත් විය යුතු බවට සමාජයෙන් දැඩි විවේචනයක් එල්ල වේ. පාතාල කල්ලි අතර එකට එක කිරීමේ අරමුණින් සිදුවන මෙම ඝාතන රැල්ල කොතැනින් අවසන් වේදැයි නිශ්චිත නොවන පසුබිමක, සිද්ධියට සම්බන්ධ වෙඩික්කරුවන් වහාම නීතියේ රැහැනට කොටු කර ගැනීමට බලධාරීන් කඩිනම් පියවර ගත යුතුව ඇත.
