fauci-loses-fundamental-rights-case---ordered-to-pay-rs-66-million-in-compensation

ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ කටයුතු වෙනුවෙන් නෙදර්ලන්ත රජයෙන් ලබා දී තිබූ වාහනයක් සිය පෞද්ගලික අවශ්‍යතා සඳහා යොදා ගැනීම තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට නිගමනය කරමින්, හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රුපියල් මිලියන 6.6ක වන්දියක් නියම කර තිබේ.




අධිකරණ නියෝගයට අනුව අදාළ වන්දි මුදල රජයේ ඒකාබද්ධ අරමුදල වෙත බැර කළ යුතු වේ. එලෙස ගෙවිය යුතු සම්පූර්ණ මුදලින් රුපියල් 1,664,334.93ක කොටසක් නියෝගය ලබා දී මාසයක් ඇතුළත ද, ඉතිරි මුදල මාස දෙකක් ඇතුළත ද ගෙවා අවසන් කරන ලෙසට තීන්දුවේ වැඩිදුරටත් අවධාරණය කර ඇත.

මූල්‍යමය වන්දියට අමතරව, අදාළ වාහනයේ ඡායාරූපයක් ද ඇතුළත් කරමින් තමා අතින් සිදුවූ ක්‍රියාව සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව අයැදීමේ දැන්වීමක් පළ කරන ලෙස ද හිටපු අමාත්‍යවරයාට නියෝග කර තිබේ. එම දැන්වීම මාසයක් ඇතුළත 'සිළුමිණ', 'සන්ඩේ ඔබ්සර්වර්' මෙන්ම 'තිනකරන්' යන පුවත්පත්වල මුල් පිටුවල අඩක ප්‍රමාණයෙන් පළ කළ යුතු බවට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇත.




ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වන චන්ද්‍ර ජයරත්න මහතා විසින් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබා දී තිබේ. ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.