the-grave-of-asman-who-died-in-the-prison-clash-has-been-dug

මැගසින් බන්ධනාගාරයේ සිදුවූ ගැටුමකින් මියගිය පාතාල කල්ලියක ප්‍රබල සාමාජිකයෙකුගේ දේහය භූමදානය කර තිබූ සුසාන භූමියේ වළ කිසියම් පිරිසක් විසින් හාරා ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව මත්තේගොඩ පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. පසුගිය දෙවනදා මත්තේගොඩ පොලීසිය වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ මියගිය පුද්ගලයාගේ ඥාතීන් විසිනි.




මෙලෙස වළ හාරා ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල අපරාධ සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි මොහොමඩ් අස්මාන් සෙරෆ්ඩීන් නමැති අයගේ සිරුර තැන්පත් කර තිබූ ස්ථානයයි. සංවිධානාත්මක පාතාලයේ වෙඩික්කරුවෙකු ලෙස සැලකෙන මොහු, ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන්ද සැකයට ලක්ව සිටි අයෙකි. ඉකුත් අගෝස්තු 06 වනදා රාත්‍රී 10.20 ට පමණ මැගසින් බන්ධනාගාරය තුළ හටගත් උණුසුම් තත්ත්වය අතරතුර සිදුවූ පහරදීමකින් ඔහු ජීවිතක්ෂයට පත් විය.

මියගිය අයගේ දේහය මත්තේගොඩ පිහිටි ඥාති නිවසකට රැගෙන ඒමෙන් අනතුරුව මත්තේගොඩ මුස්ලිම් සුසාන භූමියේදී භූමදානය කිරීමට පියවර ගෙන තිබුණි. එහෙත් දේහය තැන්පත් කර තිබූ වළේ පාද පිහිටි දෙසින් අඩි එකහමාරක පමණ ප්‍රමාණයක් ගැඹුරට යම් අයෙකු විසින් හාරා ඇති බවට පසුගියදා නිරීක්ෂණය වී ඇත. එම සිදුවීම සම්බන්ධයෙන් පොලීසියට හෝ පවුලේ ඥාතීන්ට කිසිදු දැනුම් දීමකින් තොරව, පල්ලියේ කාර්ය මණ්ඩලය විසින් වළ නැවත වසා දැමීමට කටයුතු කර ඇති බවටද ඥාතීන් චෝදනා කරයි.




සිද්ධියට සම්බන්ධ කිසිදු සැකකරුවෙකු පිළිබඳව මෙතෙක් තොරතුරක් අනාවරණය වී නොමැති අතර, මත්තේගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර මහතාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

the-grave-of-asman-who-died-in-the-prison-clash-has-been-dug