දෙමටගොඩ වේළුවන විද්‍යාලය ආසන්නයේදී පොලිස් අණ නොතකා ධාවනය වූ ත්‍රිරෝද රථයකට පොලීසිය විසින් සිදුකළ වෙඩි තැබීමකින් පසු පුද්ගලයන් පස්දෙනෙකු සමඟ කඩු තුනක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිදුවීමේදී ත්‍රිරෝද රථයේ සිටි තවත් එක් සැකකරුවෙකු පළාගොස් ඇති බව බොරැල්ල පොලීසිය පවසයි.
පසුගිය 18 වැනිදා කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේදී සිදුවූ පහරදීමේ සිද්ධියකට පලිගැනීමේ අරමුණින්, එම ප්‍රදේශයේම පිහිටි නිවසකට පහරදීමට මෙම පිරිස ත්‍රිරෝද රථයෙන් ගමන් කර ඇති බව අනාවරණය වී ඇත. මේ පිළිබඳව කොම්පඤ්ඤවීදිය පොලීසියට ලත් තොරතුරකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔවුන් පොලීසිය මඟහැර පළාගොස් ඇති අතර, පොලිස් නිලධාරීන් ලුහුබැඳ ඒමේදී සැකකරුවන් බොරැල්ල ප්‍රදේශයට පැමිණ තිබේ.
පොලිස් අණ නොතකා පැමිණෙන මෙම ත්‍රිරෝද රථය පිළිබඳව දැනුවත් වූ බොරැල්ල පොලීසියේ නිලධාරීන් එය නතර කරන ලෙස සංඥා කර ඇතත්, රථය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් ඊට වෙඩි තබා රථය නතර කරගැනීමට පොලීසිය පියවර ගෙන ඇත. එහිදී ත්‍රිරෝද රථයේ සිටි සැකකරුවන් පිරිස සහ ඔවුන් ළඟ තිබූ කඩු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව සිටින්නේ කොලොන්නාව, සාලමුල්ල ප්‍රදේශයේ ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් පිරිසකි. සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතාගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක පී. එච්. එස්. ගුණරත්න මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.