the-committee-investigation-revealed-that-the-container-323-issue-was-a-fabricated-lie

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික ස්වාධීන රූපවාහිනි කරලිය වැඩසටහනට එක්වෙමින් කන්ටේනර් 323 සිදුවීමට අදාළව පරීක්ෂණ වාර්තාව සති කිහිපයක් තුළ ඉදිරිපත් කරන බව පවසා තිබේ. ආණ්ඩුව බලයට පත්වූ අලුත විපක්ෂ මාධ්‍ය මගින් කන්ටේනර් 323 ප්‍රශ්නයක් ලෙස ප්‍රචාරය කර ගොතන ලද බොරුවක් බවත් ඒ ගැන විපක්ෂයේ මන්ත්‍රීවරු ඉදිරිපිට විමසා සිදුකළ කමිටුව සාක්ෂි සහිතව දැන් හෙළිකර ඇති බවත් පවසන මන්ත්‍රීවරයා.

බොරු ප්‍රචාරය වූ විගස පිළිතුරු නොදීමෙන් සිදුවූ ආණ්ඩුවට වන අවාසි ඉදිරියට සිදු නොවන්නට වග බලාගෙන ඇති බවද පැවසීය. ඔහු මෙසේ කීය.




"කන්ටේනර් 323 ප්‍රශ්නය. ඒකෙන් අපි හොඳ පාඩමක් ඉගෙනගෙන තියෙනවා. මේ වෙද්දී කන්ටේනර් 323 ප්‍රශ්නය ලොකු ප්‍රශ්නයක් බවට පත් කිරීම නිසා, ආයුධ ගෙනාවා, ආණ්ඩු හිතවාදීන් මේවා කළා කියලා ලොකු චෝදනාවක් ගෙනැල්ලා කතාවක් හැදුවනේ. එතකොට අපි ආණ්ඩුවට පත්වෙලා මාස දෙකක් විතර යනකොට තමයි මේක හදන්න පටන් ගන්නේ. එතකොට ඒ මොහොතේ මහ දවල් කිසිම සාධකයක් නැති අමු බොරුවකට උත්තර දෙන්න ඕනේ කියලා අපි හිතුවේ නැහැ. ඒක තමයි වැරැද්ද. එතකොට ඒක ගොඩනගලා ගොඩනගලා අන්තිමට කමිටු දාලා මේ මට්ටමට මේක ගේන්න වුණානේ. එතකොට ඒ වැරැද්ද අපි දැන් කරන්නේ නැහැ. දැන් අපි ආරම්භයේදීම ඒ ඕනෑම බොරුවකට උත්තර දෙනවා.

එතකොට මේක සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළා. මාත් ඒකේ සාමාජිකයෙක්. එතකොට ඒක 17 වතාවක් විධිමත්ව රැස්වුණා, හර්ෂණ නානායක්කාර ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන්. විපක්ෂයේ මන්ත්‍රීවරු හතර දෙනෙක් ඉන්නවා; දයාසිරි ජයසේකර, මුජීබුර් රහුමාන්, රංජිත් පීරිස්, ඩී.වී. චානක. එතකොට ඔබතුමාලාට එතුමාලාගෙන් අහන්න පුළුවන්. දැන් 17 වතාවක් රැස්වෙලා ඉවර කරලා තියෙන්නේ. මම වාර්තාව හදමින් ඉන්නේ, තව මාසයක් දෙකක් ඇතුළත ඒක එළියට දායි. සියලු දෙනාම ගෙන්නුවා. තාර්කිකව කරුණු ඉදිරිපත් කරන සියලු දෙනා, හිටපු DGලා, ඒකේ නිලධාරීන්, විරුද්ධ අදහස් දරන අය ඔක්කොම ගෙන්නුවා.




ගෙන්නලා එකින් එක... 323 ප්‍රශ්නයේ එතුමා කිව්වනේ ආණ්ඩුවේ ෆයිල් තියෙනවා කියලා. 323 මෙච්චර ලොකු ෆයිල් එකක් තියෙනවා. මම කියන්නේ මේ ලිපිගොනු ගැන. එතකොට 323 මුළු ෆයිල් එකම, අර රහසිගත ලිපිගොනු පවා බලන්න දුන්නේ හැමෝටම. ඒ කියන්නේ හැම කන්ටේනර් එකකම සියලු විස්තර විපක්ෂයේ මන්ත්‍රීවරු බලලා තියෙනවා, හරිද? එතකොට මේ වෙද්දී ඔය අපේ ඒවා මාර්ක් කරලා තියෙනවා නම් මෙහෙම නෙමෙයි මේක හැසිරෙන්නේ. ඒකෙන් එතුමාට මේක ගැන අවබෝධයක් නැතුව ඇති. නමුත් බලන්න, සති කිහිපයකින් වාර්තාව එළියට එනවා. එතකොට ඒක ආවාට පස්සේ 323 කතාවම බොරුවක් බව ඔප්පු වේවී. මේක පට්ටපල් බොරුවක් බව එතැනදි එළිවෙනවා. අප මේකින් පාඩමක් ඉගෙන ගත්තා විපක්ෂය විශේෂයෙන් විපක්ෂ මාධ්‍ය හදන බොරු වලට ඉක්මනින් පිළිතුරු දෙන්න. මේ නිසා දැන් මේ වගේ දේවල් සිද්ධ වෙන් නැහැ."