පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ සම්බන්ධයක් ඇති බවට පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ. අදාළ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ කරන ලද ප්‍රකාශ පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ ආරක්ෂා වන බැවින්, මෙම ප්‍රකාශ ලබාදීම සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ ස්වේච්ඡා කැමැත්ත සහ පූර්ණ සහයෝගය මත සිදු විය යුත්තක් බව සඳහන් වේ.
මෙම චෝදනා සනාථ කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සතුව විශ්වාසදායක තොරතුරු හෝ මූලාශ්‍ර පවතින්නට ඇතැයි යන පදනම මත, එම කරුණු මොනවාදැයි විමසා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ඒ අනුව, අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා ලබාදුන් උපදෙස් පරිදි, පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවලින් අදාළ ප්‍රකාශවල පිටපත් ලබාගෙන ඒවා විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මෙම මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිතය. පරීක්ෂණ සඳහා සහාය දැක්වීමේ අරමුණින් මෙම තොරතුරු ලබාගැනීම සිදුකරන බවත්, එය ස්වේච්ඡාවෙන් සිදුකරන ක්‍රියාවලියක් බවත් පරීක්ෂකයින් විසින් මන්ත්‍රීවරුන්ට පැහැදිලි කිරීමට නියමිතව තිබේ.
මේ අතර, පාස්කු ඉරිදා ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් අධිචෝදනා ලබා සිටින විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහි නඩුවේ තීන්දුව ලබන අඟහරුවාදා (22) ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල සූදානමින් සිටියි. මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ (සභාපති), සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන මහත්වරුන්ගෙන් සමන්විත මෙම විනිසුරු මඬුල්ල හමුවේ විමර්ශනය වූ නඩුවේ පැමිණිල්ල සහ විත්තිය යන දෙපාර්ශ්වයම තමන්ගේ අවසාන ලිඛිත දේශන අලුත්කඩේ එම්.එම්.සී. ගොඩනැගිල්ලේදී දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ ඉදිරිපත් කර අවසන් කර ඇත.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ පසුවන සුරේෂ් සල්ලේ මහතා පසුගිය දින 100 කට ආසන්න කාලයක් තිස්සේ කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි. අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කළ ඉල්ලීමකට අනුව, සුරේෂ් සල්ලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමට තරම් අත්‍යවශ්‍යද යන්න දක්වන වාර්තාවක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන්, කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට ලබන සැප්තැම්බර් 22 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා නියෝග කර තිබේ.
