student-protests-after-being-assaulted-outside-punjab-university-womens-hostel

ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ෆග්වාරා හි පිහිටි ලව්ලි ප්‍රොෆෙෂනල් විශ්වවිද්‍යාලයේ (LPU) ශිෂ්‍යාවකට සිදු වූ බව කියන ලිංගික අතවරයක් සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාල භූමිය තුළ දැවැන්ත විරෝධතාවක් හටගෙන ඇත. සැප්තැම්බර් 24 වන දින විශ්වවිද්‍යාල නේවාසිකාගාරයක රැඳී සිටි ශිෂ්‍යාවකට බාහිර පුද්ගලයෙකු විසින් දූෂණය කරන ලද බවට සමාජ මාධ්‍ය සහ සිසුන් අතර පැතිර ගිය කටකතා මෙම නොසන්සුන්තාවයට හේතු වී තිබේ.

ඊයේ අලුයම ආරම්භ වූ මෙම විරෝධතාවයට සිසුන් සිය ගණනක් සහභාගී වී සිටි අතර, ඔවුන් ජාතික මහාමාර්ගය ද අවහිර කරමින් විරෝධතාවයේ නිරත වී ඇත.




මෙම නොසන්සුන්තාවය අතරතුර විරෝධතාකරුවන් විසින් දේපළවලට හානි කරමින් සහ ගිනි තැබීම් සිදු කරමින් කලහකාරී ලෙස හැසිරී තිබේ. එන්ඩීටීවී (NDTV) වාර්තා කර ඇති ආකාරයට, එක් සිසුවෙකු ප්‍රදර්ශනයට තබා තිබූ ඉන්දීය ගුවන් හමුදාවට අයත් MiG-23UM ගුවන් යානයකට නැඟ සිටින අතර තවත් සිසුන් 10 දෙනෙකු පමණ මිලිටරි ටැංකියක් මත සිටින අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන නිකුත් වී ඇත. මීට අමතරව විශ්වවිද්‍යාල ගොඩනැගිල්ලක කොටස් ගිනි ගන්නා ආකාරය, වීදුරු ජනෙල් සහ මල් පෝච්චි කැඩී ඇති ආකාරය මෙන්ම කැම්පස් භූමියේ කඩ සාප්පු කිහිපයකට ද හානි කර ඇති ආකාරය වීඩියෝ දර්ශන මගින් තහවුරු වී තිබේ. කෙසේ වෙතත්, මෙම දේපළ හානි කිරීම් සඳහා බාහිර පුද්ගලයින් සම්බන්ධ වී ඇති බවට සිසුන් විසින් චෝදනා කරනු ලබයි.

කපුර්තලා හි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගෞරව් ටූරා පවසන පරිදි, මෙම දූෂණ චෝදනාව තහවුරු කිරීමට මෙතෙක් කිසිදු සාක්ෂියක් පොලිසියට හමුවී නොමැත. එසේ වුවද, නොදන්නා පුද්ගලයෙකුට එරෙහිව නඩුවක් ලියාපදිංචි කර ඇති අතර, සිද්ධිය විමර්ශනය කිරීම සඳහා විශේෂ විමර්ශන කණ්ඩායමක් (SIT) ද පත් කර තිබේ. ජලන්දර් කලාපයේ නියෝජ්‍ය පොලිස්පති නවීන් සිංග්ලා ප්‍රකාශ කර ඇත්තේ, දින තුනකට පෙර ජී3 (G3) නේවාසිකාගාරයේ දැරියක් දූෂණයට ලක්ව ඇති බවත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවත් විරෝධතාකරුවන් නගන ප්‍රධාන චෝදනාව බවයි. ඒ අනුව පොලිසිය විසින් සිසුන්ගේ ප්‍රකාශ සටහන් කරගෙන පළමු තොරතුරු වාර්තාවක් (FIR) ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇත. රාත්‍රී 1.00 ට පමණ විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරය අසලින් මෙම නොසන්සුන්තාව ආරම්භ වී ඇති බව පොලිසිය පවසයි.




විරෝධතාවයේ නිරත වූ ඇතැම් සිසුන් පවසන්නේ අදාළ ශිෂ්‍යාවට ජලනල කාර්මිකයෙකු හෝ ඉදිකිරීම් කටයුතුවල නිරත වන සේවකයෙකු විසින් මෙම අතවරය සිදු කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් නේවාසිකාගාරයේ පාලිකාව දැනුවත් කර තිබුණද, ඇය විසින් ඒ සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට ද සිසුන් වැඩිදුරටත් චෝදනා කර සිටිති.

student-protests-after-being-assaulted-outside-punjab-university-womens-hostel

student-protests-after-being-assaulted-outside-punjab-university-womens-hostel

student-protests-after-being-assaulted-outside-punjab-university-womens-hostel

student-protests-after-being-assaulted-outside-punjab-university-womens-hostel

student-protests-after-being-assaulted-outside-punjab-university-womens-hostel