six-year-old-twin-girls-die-after-tamarind-seed-gets-stuck-in-throat

හය හැවිරිදි දැරියක සියඹලා ඇටයක් උගුරේ සිරවීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් ගලහ, නිල්ලඹ ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ එකම පවුලක නිවුන් සහෝදරියන් දෙදෙනාගෙන් එක් අයෙකු වූ චනුදි ලක්ෂානි නැමැති දැරියයි.




සිද්ධිය වූ දිනයේ දැරියන්ගේ මව රැකියාවට ගොස් තිබූ අතර පියා ද පිට පළාතක සේවයේ නිරතව සිට ඇත. දහවල් ආහාරය ගැනීමට සූදානම් වූ අවස්ථාවේ වහලයේ සිටි ගැරඬියෙකු දැක බියට පත් වූ දැරියන් තිදෙනා අසල පිහිටි ලොකු අම්මාගේ නිවසට ගොස් තිබේ. එහිදී සියඹලා කරලක් අනුභව කරමින් සිටි 14 හැවිරිදි වැඩිමහල් සහෝදරිය වන කාංචනා ලක්ෂානිගෙන් මියගිය දැරිය ද සියඹලා ඉල්ලාගෙන ආහාරයට ගෙන ඇත.

සියඹලා ඇටය අතැතිව සිටි දැරිය මොහොතකින් හුස්ම ගැනීමට නොහැකිව දැඟලීමට පටන් ගෙන ඇති අතර, වැඩිමහල් සහෝදරියගේ කෑගැසීමත් සමඟ එම ස්ථානයට පැමිණි මව දැරියගේ පිටට තට්ටු කරමින් රෝහල වෙත රැගෙන යාමට පියවර ගෙන තිබේ. කෙසේ වෙතත්, පසුගිය 2 වැනිදා පස්වරු 3.00 ට පමණ පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂ ළමා රෝහලට ඇතුළත් කරන විටත් දැරිය මියගොස් සිටි බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.




පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන මහතා හමුවේ පැවැති මරණ පරීක්ෂණයේදී සාක්කි මෙහෙයවීම ගලහ පොලීසියේ පොලිස් සැරයන් ජයතිලක මහතා විසින් සිදු කරන ලදී. දැරියගේ මරණය ශ්වසන නාලයේ පහළ කොටසේ යම් ද්‍රව්‍යයක් සිරවීමෙන් ඇති වූ අවහිරතාව නිසා සිදු වූවක් බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ආර්.පී. ජයසූරිය මහතා විසින් සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී තීරණය කර ඇත. එමෙන්ම, මූලික ප්‍රථමාධාර පිළිබඳ අවම දැනුමක් හෝ පැවතියේ නම් මෙම දැරියගේ ජීවිතය බේරා ගැනීමට ඉඩ තිබූ බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නීති වෛද්‍ය නිලධාරී පාලිත බණ්ඩාර සුබසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

six-year-old-twin-girls-die-after-tamarind-seed-gets-stuck-in-throat