she-went-to-the-country-to-inform-the-hospital-that-she-knew-the-fcid-story-when-she-boarded-the-plane---a-relative-of-shiranthi-told-hiru

සිරිලිය සවිය ගිණුමට අදාළව ක්‍රියාත්මක කෙරෙන පරීක්ෂණයකට සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙත කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ලිඛිත දැනුම්දීමක් භාරදී තිබේ. ඇය 2026 සැප්තැම්බර් 16 වන දින සිංගප්පූරුව බලා පිටත්ව යාමට සූදානම් වූ අවස්ථාවේදී මෙම පියවර ගෙන ඇත.




අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 109(6) වගන්තියට අනුව නිකුත් කරන ලද මෙම ලිඛිත නියෝගය මගින් ලබන සැප්තැම්බර් 24 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස ඇයට දැනුම්දී තිබේ. යම් අපරාධමය සිදුවීමක තොරතුරු හා තත්ත්වයන් පිළිබඳව දැනුමක් ඇතැයි පෙනී යන ඕනෑම තැනැත්තකුට තමන් හමුවේ පෙනී සිටින ලෙස ලිඛිතව නියෝග කිරීමට විමර්ශන නිලධාරීන්ට අදාළ වගන්තියෙන් ප්‍රතිපාදන සැලසෙන අතර, එවැනි නියෝගයක් මත අදාළ තැනැත්තා පෙනී සිටිය යුතුය.

ජාතික ඉතිරි කිරීමේ බැංකුව (NSB) මගින් සිරිලිය සවිය වෙත ලබාදෙන ලද රුපියල් මිලියන 10ක මුදලක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන පදනම් කරගනිමින් ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් මෙලෙස ප්‍රකාශයක් ලබාගැනීමට නියමිතව ඇත.




මේ අතර මෙම පුවත ගැන හිරු මාධ්‍ය ජාලය සඳහන් කරන ආකාරයට, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණෙන ලෙස දැනුම්දීමක් කර තිබියදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය විදේශගත වූ බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු ප්‍රකාශ කර තිබේ. අදාළ පවුලේ සාමාජිකයා සඳහන් කර ඇත්තේ ඇය පෞද්ගලික රෝහලක සිට සෘජුවම ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි.

එමෙන්ම මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස මීට පෙර කිසිදු කැඳවීමක් සිදුකර නොතිබූ බවද එම සාමාජිකයා පවසයි. ගුවන් යානය අද (16) අලුයම 12.50ට පිටත්වීමට නියමිතව තිබියදී ගුවන් තොටුපළේ ගේට්ටුව ආසන්නයේදී ගුවන් තොටුපළ නිලධාරියෙකු විසින් එක්වරම අදාළ ලිපිය ඇය වෙත භාරදී ඇති බවත්, ඒ අනුව ඇය රටින් පිටවීමට නියමිතව තිබූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර ඇති බවත් රාජපක්ෂ පවුලේ එම සාමාජිකයා වැඩිදුරටත් සඳහන් කර ඇත.