බොලිවුඩ් සූපර්ස්ටාර් සල්මාන් ඛාන්ගේ ලොකු අක්කා වන අල්වීරා ඛාන් සහ නළුවකු මෙන්ම නිෂ්පාදකයකු වන අතුල් අග්නිහෝත්‍රීගේ දියණිය වන අලිසේ අග්නිහෝත්‍රී සිය නවතම සිනමා නිර්මාණය සමඟින් නැවතත් පුවත් මවන්නියක් බවට පත්ව සිටින්නීය. වසර තුනකට පමණ පෙර ‘ෆරේ’ චිත්‍රපටය ඔස්සේ හින්දි සිනමා ක්ෂේත්‍රයට පිවිසි ඇයට මෙවර හොරර්-කොමඩි ජොම්බි ත්‍රිලර් වර්ගයේ නවතම චිත්‍රපටයකට රංගනයෙන් දායක වීමේ අවස්ථාව හිමිව තිබේ.
‘කොලේජ් ෆෙස්ට්’ (College Fest) ලෙස නම් කර ඇති මෙම නිර්මාණයේ අලිසේට අමතරව ප්‍රකට යූටියුබ් තරුවක් වන ආශිෂ් චංචලානි ද ප්‍රධාන භූමිකාවකට පණ පොවයි. ‘පංචායත්’ වැනි ප්‍රසිද්ධ වෙබ් මාලාවන් පිටුපස සිටින ටීවීඑෆ් (TVF - The Viral Fever) නිෂ්පාදන ආයතනය විසින් මෙම චිත්‍රපටය නිර්මාණය කරනු ලබන අතර, එහි අධ්‍යක්ෂණය වෛභව් බන්ධූ විසින් සිදු කරනු ලබයි.
වර්තමාන ජෙන්-සි (Gen-Z) පරම්පරාවේ විද්‍යාලයීය සංස්කෘතිය පසුබිම් කරගත් මෙම කතාවේ, විද්‍යාලයීය උත්සවයක් අතරතුර පැතිර යන අභිරහස් ආසාදනයක් නිසා සිසුන් ජොම්බීන් බවට පත්වන අයුරු නිරූපණය වන අතර එහි අලිසේ කැපී පෙනෙන චරිතයක් රඟදක්වයි. මෙම චිත්‍රපටය සිනමාහල්වල තිරගත කිරීම වෙනුවට ඇමසන් ප්‍රයිම් වීඩියෝ (Amazon Prime Video) OTT වේදිකාව ඔස්සේ සෘජුවම මුදාහැරීමට නියමිතය.
