ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතාට එරෙහිව පැනවූ විදේශ ගමන් තහනම ක්‍රියාත්මක කිරීමට ගිය අවස්ථාවේදී ඔහු ඒ වන විටත් දිවයිනෙන් පිටව ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබේ. අදාළ සංචාරක තහනම පැනවීමට ප්‍රථම, එනම් ඉකුත් අගෝස්තු 31 වන දිනම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා තායිලන්තය බලා පිටත්ව ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඇත.
ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව මෙම විදේශ ගමන් තහනම පනවා එළඹෙන ඔක්තෝබර් 21 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ ඉකුත් සිකුරාදා දිනයේදීය. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙන්ගප්පුලි සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම නියෝගය ලබා දී තිබේ.
2015 වසරේ පැවැති ජනාධිපතිවරණ සමයේදී කහවත්ත ප්‍රදේශයේදී එවකට ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීම සඳහා සංවිධානය කර තිබූ මැතිවරණ රැලියකට එල්ල වූ වෙඩි තැබීමේ සිද්ධියකට සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර, සබරගමුව පළාත් සභා මන්ත්‍රී නිලන්ත ජයසිංහ සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන ද සිල්වා යන මහත්වරුන්ට රත්නපුර මහාධිකරණය මගින් මරණ දඬුවම නියම කර තිබුණි.
කෙසේ වෙතත්, පසුව අභියාචනාධිකරණය විසින් අදාළ චෝදනාවලින් ඔවුන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට පියවර ගත් අතර, එම නිදහස් කිරීමට එරෙහිව අදාළ වෙඩි තැබීමෙන් මියගිය වින්දිතයාගේ බිරිඳ වන ශාන්ත දොඩන්ගොඩ මහත්මිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කරන ලදී. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම පියවර ගෙන ඇත්තේ අදාළ අභියාචනය සලකා බලමින් සිටින අතරතුරදීය.