
ශ්‍රී ලංකාවේ විනිසුරුවරුන් ඇතුළු සියලුම අධිකරණ නිලධාරීන් ආදායම් බදු ගෙවීම සඳහා නීත්‍යානුකූලව බැඳී සිටින බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. අධිකරණ නිලධාරීන් නියෝජනය කරන සංගම් කිහිපයක් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ප්‍රකාශයට පත් කර ඇත.
මෙම තීන්දුවත් සමඟ මහාධිකරණ, දිසා, අතිරේක දිසා, මහේස්ත්‍රාත් මෙන්ම කම්කරු විනිශ්චය සභා සභාපතිවරුන්ගේ සංගම් විසින් ගොනු කර තිබූ අභියාචනා සියල්ලම ප්‍රතික්ෂේප වී යයි.අදාළ පෙත්සම්කරුවන් මීට පෙර අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සම් තුනක් ගොනු කර තිබූ අතර, 2023 නොවැම්බර් 2 වැනි දින එම පෙත්සම් නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය පියවර ගෙන තිබුණි. ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම නව නිගමනය ලබා දී ඇත්තේ අභියාචනාධිකරණයේ එකී තීන්දුවට එරෙහිව ඉදිරිපත් වූ අභියාචනා නැවත පරීක්ෂා කිරීමෙන් පසුවය.
2017 අංක 24 දරන දේශීය ආදායම් පනත ප්‍රකාරව විනිසුරුවරුන් බදු ගෙවීමට යටත් වන්නේද යන්නත්, ඔවුන්ගේ වැටුපෙන් එම බදු මුදල් කපා හැරීම නීත්‍යානුකූලද යන්නත් මෙම නඩුවේදී මතු වූ ප්‍රධාන නීතිමය කරුණු විය. බදු අයකිරීමේ අරමුණින් තමන්ව සාමාන්‍ය සේවකයන් ලෙස සැලකීම සහ ධූර කාලය තුළ වැටුපෙන් බදු කපා ගැනීම මගින් ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති අධිකරණ ස්වාධීනත්වයට මෙන්ම වැටුප් කප්පාදු නොකිරීමේ අයිතියටද හානි සිදුවන බව පෙත්සම්කාර සංගම් තර්ක කළේය. එබැවින් දැනටමත් අය කරගෙන ඇති බදු මුදල් නැවත ලබා දෙන ලෙසද ඔවුහු ඉල්ලා සිටියහ.
එහෙත් වගඋත්තරකාර පාර්ශ්වය පෙන්වා දුන්නේ මෙය සමස්ත පුරවැසියන්ටම සාධාරණ ලෙස බලපාන පොදු බදු ක්‍රමවේදයක් බවත්, අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද (APIT) යනු පූර්ව බදු එකතු කිරීමේ යාන්ත්‍රණයක් පමණක් බවත්ය. වගඋත්තරකරුවන්ගේ මෙම කරුණු තහවුරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, පෙත්සම්කරුවන්ගේ ඉල්ලීම් සම්පූර්ණයෙන්ම ඉවත දැමූ අතර, විනිසුරු ශිරාන් ගුණරත්න මහතාද බදු අයකිරීම සම්බන්ධ මෙම අවසන් නිගමනයට සිය එකඟතාව පළ කළේය.
නඩුවේ ප්‍රධාන තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු ජනක් ද සිල්වා මහතා සඳහන් කළේ දේශීය ආදායම් පනත අධිකරණ නිලධාරීන්ට අදාළ කිරීම හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් සිදු නොවන බවයි. අධිකරණයේ ස්වාධීනත්වය මූලික ව්‍යවස්ථාපිත ප්‍රතිපත්තියක් වුවද, විනිසුරුවරුන් විශේෂයෙන් ඉලක්ක නොකර මුළු සමාජයටම පොදුවේ පනවා ඇති බදු නීතිවලට ඔවුන්ද යටත් විය යුතු බව උසාවිය පෙන්වා දුන්නේය. එමෙන්ම, බදු අයකිරීම සඳහා පමණක් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් වැටුප් ගෙවීම හෝ අත්තිකාරම් පුද්ගල ආදායම් බදු අඩු කිරීම සිදු කළද, එයින් අධිකරණ නිලධාරීන් සහ අදාළ පාර්ශ්වයන් අතර හාම්පුතු-සේවක සබඳතාවක් නිර්මාණය නොවන බවද විනිසුරුවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.
