no-one-is-worried-about-namals-arrest---vasudeva

වත්මන් ආණ්ඩුවට එරෙහිව ජනතා අප්‍රසාදය ගොඩනැඟෙන තෙක් විපක්ෂය බලා සිටින්නේ එය සිය දේශපාලන බලය තහවුරු කරගැනීමේ ප්‍රධාන උපක්‍රමය කරගැනීමට බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. ජනතාව මුහුණ දෙන ආර්ථික හා සමාජීය දුෂ්කරතා අනිසි ලෙස ප්‍රයෝජනයට ගනිමින් රජයට එරෙහිව ජනතාව මෙහෙයවීමේ සූදානමක් විපක්ෂය තුළ පවතින බව හෙතෙම පෙන්වා දෙයි.




අද (07) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා අවධාරණය කළේ, මෙකී තත්ත්වය හමුවේ පාලක පාර්ශවය ඉතා නුවණින් සහ ප්‍රවේශමෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවයි. නැවත වරක් බලය අත්පත් කරගැනීමේ අරමුණින් දක්ෂිණාංශික ඒකාබද්ධ විපක්ෂය ප්‍රතිගාමී බලවේග සමඟ එක්ව නව වැඩපිළිවෙළකට ඉව අල්ලමින් සිටින බවට ද ඔහු මෙහිදී චෝදනා කළේය.

එසේම, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදුකරන ප්‍රකාශ දෙස බැලීමේදී, රජය අතින් සිදුවන වැරදි මෙන්ම ආණ්ඩුව පිළිබඳව ජනතාව තුළ ගොඩනැඟෙන නොසන්සුන්තාව සම්බන්ධයෙන් ඔහු දැඩි සන්තෝෂයකින් පසුවන බවක් පෙනී යන බව ද වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේය.




නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට පත්වීමේ සිදුවීම හමුවේ රටේ ජෙනරේෂන් ඉසෙඩ් (Gen Z) පරපුර කලබලයට පත්ව නොමැති බව පැවසූ හිටපු මන්ත්‍රීවරයා, ඔවුන් තුළ සැබෑ කැලඹීමක් නිර්මාණය වී ඇත්තේ වත්මන් පාලනයට එරෙහිව විපක්ෂයේ කුමන්ත්‍රණකාරී එක්වීම තුළින් රට නැවතත් ආපසු හැරවීමට දැරෙන ප්‍රයත්නය සම්බන්ධයෙන් බව වැඩිදුරටත් කියා සිටියේය.