namals-arrest-is-illegal---gammangpila

අද (05) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මංපිල මෙසේ පවසා තිබේ.




"ඊයේ දිනයේ ඉතාම අයුක්ති සහගත සහ නීති විරෝධී ආකාරයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා මේ මර්දනකාරී මාලිමා ආණ්ඩුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන විතරක් නෙවෙයි, රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.




ඔහුට එරෙහිව තිබෙන චෝදනාව තමයි, ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් සමාගමෙන් ගුවන් යානා මිලදී ගැනීමේදී, එයාර්බස් සමාගම විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරියාගේ බිරිඳ වන ප්‍රියංකා විජේනායකට ලබා දුන් කොමිස් මුදලෙන් ඩොලර් ලක්ෂ අටක් ලබා ගත්තා කියන එක.

දැන් මේ චෝදනාවට සාක්ෂි තියෙනවද? මා ඉතාම වගකීමෙන් කියනවා, මේ චෝදනාවට කිසිම සාක්ෂියක් විමර්ශකයන් සතුව නැති බව.



එහෙනම් අත්අඩංගුවට ගැනීමේ පදනම මොකක්ද?

2014දී ප්‍රියංකා විජේනායකට එයාර්බස් සමාගමෙන් ගෙවූ කොමිස් මුදලෙන් කොටසක්, ප්‍රියංකා තමන්ගේ ගිණුමෙන් ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන නිමල් පෙරේරාගේ ගිණුමට මාරු කරනවා. ඒ කියන්නේ ඩොලර් ලක්ෂ අටක්.

මේ පිළිබඳ නිමල් පෙරේරාගෙන් ප්‍රශ්න කරද්දී නිමල් පෙරේරා කියනවා, "මම ඒ මුදල නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාට ලබා දුන්නා" කියලා.

කොහොමද ලබා දුන්නේ? කවුරුවත් නැති වෙලාවට ගිහින් ඔහුගේ මේසය උඩ ඩොලර් ලක්ෂ අට තියලා ලු!

ඒ ප්‍රකාශය හැරුණු කොට, මෙවැනි ඩොලර් ලක්ෂ අටක් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ලබා දුන් බවට වෙනත් කිසිම සාක්ෂියක් සොයාගෙන නැහැ.

එතකොට එයාර්බස් සමාගමෙන් ප්‍රියංකා විජේනායකට කොමිස් මුදලක් ලබා දුන් බවට සාක්ෂි තිබෙනවද? උත්තරය: ඔව්.

ප්‍රියංකා විජේනායක තමන්ට ලැබුණු කොමිස් මුදලින් කොටසක් නිමල් පෙරේරාට ලබා දුන් බවට සාක්ෂි තිබෙනවද? උත්තරය: ඔව්.

නිමල් පෙරේරා විසින් තමන්ට ලැබුණු කොමිස් මුදල නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාට ලබා දුන් බවට සාක්ෂි තිබෙනවද? උත්තරය: නැත.

එතකොට දැන් කොමිස් මුදල ලබා ගත් බවට සාක්ෂි තිබෙන නිමල් පෙරේරාව අත්අඩංගුවට ගන්නේ නැතුව, ඔහුගේ කටවචනයක් මත පමණක්ම පදනම් වෙලා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නවා.

මේක මර්දනයේ ඉතාම භයානක අවස්ථාවක්.

නාමල් මන්ත්‍රීතුමාට ඩොලර් ලක්ෂ අටක කොමිස් මුදලක් ලබා දීම කියන්නේ උගන්ඩාවේ ඩොලර් සඟවා තිබෙනවා කීවා වගේම මාලිමා පචයක්.

එහෙම නැත්නම් චිචී මහජන මුදලින් රොකට් එකක් යැව්වා කියනවා වගේම මාලිමා පචයක්.

එහෙම නැත්නම් චිචී එංගලන්තයෙන් රත්තරන් අශ්වයෙක් ගෙන්වලා තම පෙම්වතියට උපන්දිනයට තෑගි දුන්නා කියනවා වගේම මාලිමා පචයක්.

තවදුරටත් කියනවා නම්, 2012 දෙසැම්බර් 12 වැනිදා ලැම්බෝගිනි රථ 19ක් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නමට වරායෙන් ගොඩබෑවා කියනවා වගේම මාලිමා පචයක්.

මේ විදිහට ආණ්ඩුවට කාවහරි අත්අඩංගුවට ගන්න අවශ්‍ය නම් කරන්න තියෙන්නේ, තමන්ට ලැබුණු කොමිස් මුදලෙන් කොටසක් අහවලාටත් ලබා දුන්නා කියලා නිමල් පෙරේරාගෙන් ප්‍රකාශයක් ලබා ගන්න එක විතරයි.

මේ නිසා නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා විතරක් නෙවෙයි, මේ රටේ මිලියන 22ක් වූ සමස්ත ජනතාවම අනතුරට ලක් වෙලා තියෙනවා. අනාරක්ෂිතයි.

ඇයි? තමන් නොදන්නා වූ චෝදනාවකට කොයි මොහොතේ හෝ ඕනෑම පුද්ගලයෙක් අත්අඩංගුවට පත්වීමේ අවදානමක් තිබෙනවා.

"මම හොරකම් කරන්නේ නැහැ, මම මැරකම් කරන්නේ නැහැ, මම සල්ලාලකම් කරලා නැහැ, ඒ නිසා මම ආරක්ෂිතයි, මාව කාටවත් අත්අඩංගුවට ගන්න බැහැ" කියලා මේ රටේ කිසිම පුද්ගලයෙකුට තවදුරටත් හිතන්න අවස්ථාවක් මේ සිදුවීම හරහා නැත්තටම නැති කරලා තිබෙනවා.

දැන් ඉතින් අත්අඩංගුවට පත්වෙන්න තියෙන එකම එක දෙයයි. මොකක්ද? නිමල් පෙරේරාගේ ප්‍රකාශයක තමන්ගේ නම තිබීම පමණයි. එහෙම තිබ්බොත් වරදක් කළා නැතත් අත්අඩංගුවට පත්වෙනවා විතරක් නෙවෙයි, ඇප ලබා ගන්න බැරුව රක්ෂිත බන්ධනාගාර ගත වෙනවා.

මොකද මහේස්ත්‍රාත්වරුනුත් අසරණයි. පොදු දේපොළ පනත යටතේ ඉදිරිපත් කළොත් සුවිශේෂී හේතු නැත්නම් ඇප ලබා දීමේ හැකියාවක් නැහැ.

එතකොට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මැතිනියනි, විපක්ෂයේ අපි විතරක් නෙවෙයි, ඔබතුමියත් අනාරක්ෂිතයි. බැරි වෙලාවත් හරිනි අමරසූරිය අගමැතිතුමිය තමන්ට තර්ජනයක් කියලා ජනාධිපතිතුමාට හිතුණොත්, ජනාධිපතිතුමාට කරන්න තියෙන්නේ තමන්ට ලැබුණු කොමිස් මුදලෙන් කොටසක් හරිනි අමරසූරිය මැතිනියටත් ලබා දුන්නා කියලා නිමල් පෙරේරාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම විතරයි. ඇප නැතිව හරිනි අමරසූරිය අගමැතිතුමියත් රක්ෂිත බන්ධනාගාරයේ තමයි!

මේ අනුව බලද්දී අගමැතිතුමියයි නාමල් මන්ත්‍රීතුමයි විතරක් නෙවෙයි, සමස්ත මිලියන 22ක් වූ මේ රටේ ජනතාවම අනාරක්ෂිත තැනකට තල්ලු වෙලා තියෙනවා.

මේක ඉදිරියේදී තව තව බෝ වෙන්නත් පුළුවන්. අත්අඩංගුවට පත්වෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් කියනවා, "මගේ සල්ලි දීලා තියෙන්නේ අහවල් විපක්ෂයේ දේශපාලකයාටයි" කියලා.

පොලිසියෙන්ම කියවා ගන්නවා, "ඔබට රජයේ සාක්ෂිකරුවෙක් වෙලා බේරෙන්න අවශ්‍ය නම්, අන්න අහවල් විපක්ෂයේ දේශපාලකයා ළඟ ඔබේ සල්ලි තියෙනවා කියන්න; අපි ඔබව රජයේ සාක්ෂිකරුවෙක් කරලා බේරා ගන්නම්" කියලා.

එතකොට මේ ආකාරයට ආණ්ඩුවට තර්ජනයක් වී සිටින සියලුම විපක්ෂයේ දේශපාලකයින්, එක් එක් අයගේ ප්‍රකාශවල නම සඳහන් වීම මත අත්අඩංගුවට අරගෙන, රක්ෂිත බන්ධනාගාර ගත කරලා, ආණ්ඩු විරෝධී බලවේග නිහඬ කිරීමට ආණ්ඩුවට හැකියාව ලැබී තිබෙනවා.

අපි ඇත්තටම නිමල් පෙරේරා මහත්තයා ඩොලර් ලක්ෂ අටක් නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාට දුන්නා කියමු. දැන් ඒක කොහොමද කොමිස් මුදලක් වෙන්නේ?

දැන් කොමිස් මුදල බෙදා ගත්තේ ප්‍රියංකයි නිමල් පෙරේරයි. නිමල් පෙරේරා මහත්තයාට පුළුවන් ඒ තමන්ට ලැබුණු සල්ලි පන්සලකට පරිත්‍යාග කරන්න, සුබසාධන සමිතියකට පරිත්‍යාග කරන්න, ක්‍රීඩා සමිතියකට පරිත්‍යාග කරන්න, දේශපාලන පක්ෂයකට පරිත්‍යාග කරන්න, ඕනේ නම් හිඟන්නෙකුට වුණත් පරිත්‍යාග කරන්න.

තමන්ට ලැබුණු කොමිස් මුදල කැමති ආකාරයකට වියදම් කරන්න පුළුවන්. දැන් මේ ආකාරයට පරිත්‍යාගයක් භාර ගැනීමත් නීති විරෝධී නම්, දේශපාලකයින් විතරක් නෙවෙයි හිඟන්නත් අනාරක්ෂිත වෙනවා.

අනාගතයේ එක් දවසක කවුරුහරි හිඟන්නෙකුට රුපියල් 10ක් දුන්නාම හිඟන්නා කියයි, "බුදු සර්, මේ රුපියල් 10 කොමිස් ගහලාවත්, ජාවාරම් කරලාවත් උපයා ගත් රුපියල් 10ක් නෙවෙයි කියලා මට දිවුරුම් ප්‍රකාශයක් ලබා දෙන්න බැරිනම් රුපියල් 10 අරගෙන යන්න; රුපියල් 10ක් නිසා මට හිරේ වැටෙන්න බැහැ" කියලා හිඟන්නන් කියන්න ඉඩ තියෙනවා.

අපි මේ ආණ්ඩුව කරන සෑම අත්අඩංගුවට ගැනීමකටම විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් නීති විරෝධී, අයුක්ති සහගත සෑම අත්අඩංගුවට ගැනීමකටම අපි විරුද්ධ විය යුතුයි.

අද නාමල්, හෙට ඔබ වෙන්න පුළුවන්.

අද මේ නීති විරෝධී අත්අඩංගුවට ගැනීමට ඔබ විරුද්ධ වුණේ නැත්නම්, හෙට ඔබට මේ අසාධාරණය ලක් වන විට ඔබ වෙනුවෙන් හඬ නඟන්න කිසිවෙකු නැති වෙන්න පුළුවන්.

මට නැවත වතාවක් සිහිපත් කරන්න තියෙන්නේ, මා නිරන්තරයෙන්ම සිහිපත් කරන ඇඩොල්ෆ් හිට්ලර්ගේ ජර්මනියේ නාසි පක්ෂයේ මර්දනය පිළිබඳ මාටින් නියෝමලර් (Martin Niemöller) පියතුමා විසින් කියූ සුප්‍රකට කවියයි:

"නාසීන් මුලින්ම සොයා ආවේ සමාජවාදීන්ය, මම සමාජවාදියෙකු නොවන නිසා නිහඬව සිටියෙමි. ඔවුන් දෙවනුව සොයා ආවේ වෘත්තීය සමිති නායකයින්ය, මම වෘත්තීය සමිති නායකයෙකු නොවන නිසා නිහඬව සිටියෙමි. ඔවුන් තෙවනුව සොයා ආවේ යුදෙව්වන්ය, මම යුදෙව්වෙකුද නොවන නිසා නිහඬව සිටියෙමි. අවසානයේ ඔවුන් මා සොයා ආහ, එවිට මා වෙනුවෙන් හඬ නඟන්නට කිසිවෙකු ඉතිරිව නොසිටියහ."

අන්න ඒ තත්ත්වය අපට නොවන්නට නම් අපි මෙයට විරුද්ධව හඬ නැඟිය යුතුමයි.

නාමල් රාජපක්ෂ කියන දේශපාලකයාට ඔබ අකමැති වෙන්න පුළුවන්. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ දේශපාලනය ඔබ ප්‍රතික්ෂේප කරන දේශපාලනයක් වෙන්න පුළුවන්. නමුත් ඔබ නාමල් රාජපක්ෂ කියන පුද්ගලයාට අකමැති වුණත්, ඔබ ඔබට ආදරෙයි නම් මෙයට විරුද්ධ විය යුතුමයි.

ඔවුන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාව පදනම් විරහිතව, නීති විරෝධීව අත්අඩංගුවට ගත්තේ ඇයි කියන එක අපි හැමෝටම පැහැදිලියි. මේ අයුක්තියට එරෙහි වෙන්න 12 වෙනිදා අනුරාධපුරයේ පැවැත්වෙන රැලියට ආරාධිත කථිකයෙකු ලෙස සහභාගී වෙන්න කියලා ඩී.වී. චානක මන්ත්‍රීතුමා ඊයේ රාත්‍රියේ මට ආරාධනාවක් කළා.

මම ඒ ආරාධනාව භාර ගත්තා. මොකද මෙය දේශපාලන පක්ෂ අතර ප්‍රශ්නයක් නෙවෙයි, පුරවැසියාගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා මේ අයුක්ති සහගත ආණ්ඩුවේ මර්දනයට එරෙහි වෙන්න මම 12 වෙනිදා පොහොට්ටුවේ වේදිකාවට නගිනවා.

ඔබත් 12 වෙනිදා අනුරාධපුර රැලියට පැමිණ, මේ අයුක්ති සහගත ආණ්ඩුවේ මර්දනයට ඔබේ විරෝධය එක් කරන්න කියලා මේ රටේ ඉන්න සෑම යුක්තිගරුක පුද්ගලයෙකුගෙන්ම මම ඉල්ලා සිටිනවා."