namal-still-not-granted-bail---within-another-week

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියට අදාළව සිදුවූ බව කියන මුදල් විශුද්ධිකරණය පිළිබඳ විමර්ශනවලට සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එළඹෙන 30 වැනිදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (23) පියවර ගත්තේය. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකෙරෙන මෙම පරීක්ෂණයේ සැකකරුවෙකු ලෙස නම් කර සිටින මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කර තිබූ ඇප ඉල්ලීමට අදාළ නියෝගය ප්‍රකාශයට පත් කිරීම සඳහා ඔහු අද දින අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.




එහිදී ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ පවතින තත්ත්වය හමුවේ සැකකරුට ඇප නියම කිරීම කෙරෙහි සලකා බැලීමට අධිකරණයට හැකියාවක් නොමැති බවයි. එයාර් බස් ගනුදෙනුවට අදාළවම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වෙනත් නඩුවක් ද පවත්වාගෙන යනු ලබන අතර, එම නඩුවට අදාළව සැකකාර මන්ත්‍රීවරයා මේ වන විටත් මෙම මස 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටීම මීට ප්‍රධාන හේතුව ලෙස අධිකරණය සඳහන් කළේය.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ සහ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු දෙකෙහි ඇතුළත් චෝදනා අතර යම් ඒකාබද්ධතාවක් පවතින බව නිරීක්ෂණය කළ මහේස්ත්‍රාත්වරයා, එක් අධිකරණයක පවතින නඩුවකින් පමණක් ඇප ලබාදීම සිදු කළ නොහැකි බව පෙන්වා දුන්නේය.




මේ අතර අදාළ පැමිණිල්ලට සම්බන්ධයෙන් නියෝග තුනක් නිකුත් කිරීමට ද මහේස්ත්‍රාත්වරයා පියවර ගත්තේය. ඒ අනුව කොටුව අධිකරණයේ පවතින නඩුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කිරීමටත්, මුදල් විශුද්ධිකරණය පිළිබඳ නඩුව සහ අල්ලස් කොමිසම පැවරූ නඩුව යන දෙකම එක්ව විභාග කිරීමටත් යම් එකඟතාවක් තිබේදැයි විමසා සිටි අධිකරණය, අල්ලස් කොමිසම මගින් නාමල් රාජපක්ෂ මහතාව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වාර්තාවක් සහිතවද යන්න පිළිබඳව අධිකරණයට කරුණු දක්වන ලෙස පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතාට දැනුම් දුන්නේය.