mayor-assaults-officer-who-came-to-turn-off-lights-at-home-for-unpaid-bills

තමන් පදිංචි නිවසේ විදුලි බිල නොගෙවීම හේතුවෙන් විදුලි සැපයුම විසන්ධි කිරීමට පැමිණි ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරියෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හලාවත ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු මාදම්පේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (23) දහවල් සිදු වූ මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ විදුලිබල මණ්ඩල නිලධාරියා මේ වන විට හලාවත මහ රෝහලේ ප්‍රාථමික සත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවෙයි.




පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා තමන් පදිංචි නිවසේ විදුලි බිල්පත ගෙවීම පැහැර හැරීම නිසා එය විසන්ධි කිරීමට හලාවත විදුලිබල මණ්ඩලයේ නිලධාරියා ඔහුගේ නිවසට පැමිණ ඇති බවයි. එහිදී විදුලිය විසන්ධි කරන බව දැනුම් දීමත් සමග මන්ත්‍රීවරයා සහ අදාළ නිලධාරියා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වී තිබේ. ඉන් අනතුරුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා විසින් එම නිලධාරියාට පහර දී ඇති අතර, ඒ පිළිබඳව ලැබුණු පැමිණිල්ලකට අනුව පොලිසිය පරීක්ෂණ පවත්වා සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මාදම්පේ පැරැණි නගරය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකි. මාදම්පේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ඒකනායක මහතාගේ උපදෙස් පරිදි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වන අතර, සැකකාර මන්ත්‍රීවරයා හලාවත මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.