
ව්‍යාජ ලේඛන සකස් කරමින් ඇමෙරිකානු කෝටි 2400 ක විශාල මුදලක් නීති විරෝධී ලෙස මෙරටින් බැහැර කළ බවට චෝදනා එල්ල වූ තිස්පස් හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කොළඹ වේල්ල වීදිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙරට ලියාපදිංචි සමාගම් 89ක් භාවිත කරමින් භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් විද්‍යුත් මුදල් හුවමාරු ක්‍රමවේද හරහා මෙම ඩොලර් සංචිත විදේශයන් වෙත යවා ඇති අතර, ඒ සඳහා අදාළ කිසිදු භාණ්ඩයක් මෙරටට ගෙන්වා නොමැති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. සමාගම් පහක් මාර්ගයෙන් සිදුකර ඇති මෙම මහා පරිමාණ ජාවාරම පිළිබඳව ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ඒ.ඩබ්ලිව්. සුදත් අයි. සිල්වා මහතා විසින් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලබා දුන් නියෝගයට අනුව ක්‍රියාත්මක වූ නිලධාරීන්, අනාවරණය වූ තොරතුරු මත පදනම්ව මෙම සැකකාර ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගනිමින් සිටියි.
