බොස්ටන්හි මැසචුසෙට්ස් ජෙනරල් රෝහලේදී ජාන විකරණය කළ ඌරෙකුගේ වකුගඩුවක් බද්ධ කරනු ලැබූ 66 හැවිරිදි ටිම් ඇන්ඩෲස් නැමැති ඇමෙරිකානු ජාතිකයා, එම අවයවය සහිතව දින 271 ක කාලයක් සාර්ථකව ජීවත් වෙමින් වෛද්‍ය ඉතිහාසයේ නව වාර්තාවක් තබා තිබේ. පූර්වයෙන් වසර දෙකක් පුරා සිදුකළ ඩයලෙසිස් ප්‍රතිකාරවලින් මිදී මෙලෙස සතෙකුගේ අවයවයක් සමඟ වැඩිම කාලයක් ජීවත් වූ පුද්ගලයා බවට පත් වූ ඔහු, ඉන් අනතුරුව සාර්ථක ලෙස මානව වකුගඩුවක් ද බද්ධ කරගැනීමට සමත් විය.
'ද ලැන්සෙට්' (The Lancet) වෛද්‍ය සඟරාවේ පළවූ වාර්තාවකට අනුව, ඌරු වකුගඩුව ඉවත් කිරීමෙන් අනතුරුව ඇන්ඩෲස් හට මානව දායකයෙකුගෙන් ලබාගත් වකුගඩුවක් බද්ධ කිරීමට වෛද්‍යවරුන් සමත් වී ඇත. සතෙකුගේ අවයවයක් මානව වකුගඩුවක් ලැබෙන තෙක් තාවකාලික ජීවිත ආරක්ෂක පාලමක් ලෙස භාවිත කර, පසුව සාර්ථකව මානව අවයවයකට මාරු වූ ලොව ප්‍රථම අවස්ථාව මෙය ලෙස සටහන් වේ.
අවයව හිඟය වර්තමාන බද්ධ කිරීමේ ක්ෂේත්‍රය මුහුණ දෙන විශාලතම අර්බුදය බව පෙන්වා දෙන මැසචුසෙට්ස් ජෙනරල් රෝහලේ වකුගඩු බද්ධ කිරීමේ වැඩසටහනේ වෛද්‍ය අධ්‍යක්ෂ ලියොනාඩෝ රියෙල්ලා සඳහන් කරන්නේ, සතුන්ගේ අවයව මිනිසුන්ට බද්ධ කිරීම මගින් මෙම හිඟයට යම් විසඳුමක් ලැබෙන බවයි. 2025 වසරේදී යුරෝපා සංගමයේ රෝගීන් 53,343 ක් සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ 100,000 කට අධික පිරිසක් අවයව බද්ධ කිරීමේ පෝලිම්වල පසුවූ අතර, ඩයලෙසිස් සේවාව මගින් ජීවිතය රැක දුන්නද රෝගියාගේ ජීවන තත්ත්වය ක්‍රමයෙන් පිරිහීමට ලක්වේ.
සතුන්ගේ අවයව මිනිසුන්ට බද්ධ කිරීමේ උත්සාහයන් විසිවන සියවසේ මුල් භාගයේ සිටම සිදුවී ඇති අතර, ඌරන්, බැටළුවන්, බැබූන් සහ චිම්පන්සීන්ගේ හදවත් හා වකුගඩු මෙලෙස බද්ධ කිරීමට උත්සාහ දරා තිබේ. 1964 දී එඩිත් පාකර් නැමැති කාන්තාව චිම්පන්සි වකුගඩුවක් සහිතව මාස නමයකට ආසන්න කාලයක් ජීවත් වූ අතර, ඇන්ඩෲස් දශක හයකට පසුව එම කාල සීමාව පසුකිරීමට සමත් විය.
මානව ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් බාහිර අවයව ප්‍රතික්ෂේප කිරීම වැළැක්වීම සඳහා අතිනවීන CRISPR ජාන සංස්කරණ තාක්ෂණය භාවිත කර ඇත. ඇමෙරිකානු eGenesis සමාගම විසින් ඌරාගේ ඩී.එන්.ඒ. හි ජානමය වෙනස්කම් 69 ක් සිදුකළ අතර, එමගින් ක්ෂණික ප්‍රතික්ෂේප වීම් වැළැක්වීම, ප්‍රදාහයන් හා රුධිරය කැටි ගැසීම් පාලනයට මානව ජාන ඇතුළත් කිරීම සහ සතුන්ගෙන් මිනිසුන්ට වෛරස් ආසාදනය විය හැකි රෙට්‍රෝවෛරස් අක්‍රිය කිරීම සිදුකරන ලදී.
ශල්‍යකර්මයෙන් පසු ඌරු වකුගඩුව වහාම ක්‍රියාත්මක වී දිනකට මුත්‍රා ලීටර් හතරත් පහත් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කරමින් රුධිරය පිරිසිදු කිරීමට පටන් ගත්තේය. කෙසේ වෙතත්, සති දෙකකට පසු T-සෛල මගින් අවයවයට එල්ල වූ ප්‍රතිශක්තිකරණ ප්‍රහාරය, සාමාන්‍ය ප්‍රතිශක්තිකරණ මර්දන ඖෂධ මගින් පාලනය කිරීමට වෛද්‍යවරුන් සමත් විය.
පාදයේ ආසාදනයක් සහ හෘදයාබාධ තත්ත්වයක් වැනි වෙනත් බරපතල සෞඛ්‍ය ගැටලුවලට ඇන්ඩෲස් මුහුණ දුන්නද, වකුගඩුව දිගටම ක්‍රියාත්මක විය. නමුත් මාස හයකට පසු බැක්ටීරියා ආසාදනයකට ප්‍රතිකාර කිරීමට ඖෂධ මාත්‍රාව අඩු කළ විට, සිරුරේ ස්වාභාවික ප්‍රතිශක්තිකරණ සෛල (මැක්‍රොෆේජ් සහ Natural Killer සෛල) මගින් වකුගඩුවේ රුධිර වාහිනීවලට හානි සිදු කර රුධිරය කැටි ගැසීමට සැලැස්වීම නිසා දින 271 දී එම අවයවය ඉවත් කිරීමට සිදුවිය.
ඌරු වකුගඩුව ඉවත් කර මාස දෙකකට පමණ පසු ගැලපෙන මානව දායකයෙකු ලැබුණු අතර, නව මානව වකුගඩුව බද්ධ කර මාස හතක් ගතවුවද කිසිදු සංකූලතාවයකින් තොරව සාර්ථකව ක්‍රියාත්මක වේ. මෙය අනාගතයේදී මානව අවයවයක් ලැබෙන තෙක් සතුන්ගේ අවයව භාවිත කිරීමේ හැකියාව තහවුරු කරන බව ස්පාඤ්ඤයේ ජාතික බද්ධ කිරීමේ සංවිධානයේ අධ්‍යක්ෂිකා බියට්‍රිස් ඩොමින්ගෙස්-ගිල් පවසන අතර, ස්වාභාවික නාශක සෛල මගින් සිදුවන ප්‍රතික්ෂේප වීම් පාලනයට සහ රුධිර වාහිනී ආරක්ෂා කිරීමට ඉදිරියේදී වැඩිදුර පර්යේෂණ අවශ්‍ය බව විශේෂඥයෝ පෙන්වා දෙති.