පැරිස් නුවර සංචාරකයින් ඉලක්ක කරගනිමින් ළමා පික් පොකැට් කල්ලි මෙහෙයවූ පවුලක ප්‍රධානියෙකුට ප්‍රංශ අධිකරණයක් විසින් සිරදඬුවම් නියම කර තිබේ. 48 හැවිරිදි රොබර්ටෝ හමිඩොවික් නමැති මෙම පුද්ගලයා මිනිස් ජාවාරම් චෝදනා යටතේ මෙලෙස වරදකරු වී ඇත.
ඔහු පැරිසියේ මෙට්‍රෝ දුම්රිය සේවය සහ ඩිස්නිලන්තය වැනි ප්‍රධාන ආකර්ෂණීය ස්ථානවල ගැවසෙන සංචාරකයින්ගෙන් මුදල් සොරකම් කිරීම සඳහා අවුරුදු 10 තරම් කුඩා ගැහැණු ළමයින් ඇතුළු දරුවන් යොදවාගෙන තිබේ. පොලිසිය පවසන පරිදි මෙම ළමා සොරුන් දිනකට සාමාන්‍යයෙන් යුරෝ 25,000ක පමණ මුදලක් උපයා දී ඇත.අදාළ දරුවන් නියමිත මුදල් ප්‍රමාණය ගෙන ඒමට අපොහොසත් වූ විට ඔවුන්ට පහරදීම, පිළිස්සීම හෝ ලිංගික හිංසනයන් සිදු කර ඇති බව පැරිස් අධිකරණයේදී අනාවරණය විය. මෙම කල්ලියේ ප්‍රධානියා වන හමිඩොවික් ඇතුළු වැඩිහිටියන් ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගත කර ඇති අතර, සොරකමේ යෙදුණු ගැහැණු ළමයින්ට අඩු පහසුකම් සහිත ලැගුම්හල්වල හෝ අතහැර දැමූ ගොඩනැගිලිවල ජීවත් වීමට සිදුව තිබේ. යුරෝපීය රටවල් කිහිපයක් පුරා පැතිරී ඇති ජාත්‍යන්තර සාක්කුකරුවන්ගේ ජාලයක කොටසක් ලෙස ක්‍රියා කළ මෙම කල්ලියේ සාමාජිකයින් හත් දෙනෙකුට මිනිස් ජාවාරම, සංවිධානාත්මක සොරකම්, බාලවයස්කරුවන් දූෂණය කිරීම සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනා එල්ල වී තිබුණි. කෙසේ වෙතත්, ඔවුන් සියලු දෙනාම එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත. අධිකරණය විසින් රොබර්ටෝ හමිඩොවික්ට වසර අටක සිරදඬුවමක් සහ යුරෝ 500,000ක දඩයක් නියම කළ අතර, ඔහුගේ බිරිඳ වන ලෙජ්ලාට වසර හයක සිරදඬුවමක් සහ යුරෝ 300,000ක දඩයක් නියම කරන ලදී. ඊට අමතරව ඔහුගේ පුතුන් දෙදෙනෙකුට, ඥාති පුත්‍රයෙකුට සහ තවත් ඥාති කාන්තාවන් දෙදෙනෙකුට වසර පහත් හතත් අතර සිරදඬුවම් සහ දඩ මුදල් නියම වී ඇත. ඔවුන්ට සිරදඬුවම් විඳීමෙන් පසු ප්‍රංශයෙන් පිටුවහල් කරන බවත්, නැවත ප්‍රංශයට ඇතුළුවීම තහනම් කරන බවත් දැනුම් දී තිබේ.
පැරිස් මෙට්‍රෝ දුම්රිය මාර්ගයේ සිදුවන සොරකම්වලින් 75%කටම මෙම කල්ලිය වගකිව යුතු බවට විශ්වාස කෙරෙන අතර, දිනකට දරුවන් හයත් නවයත් අතර ප්‍රමාණයක් ඩිස්නිලන්තය, චාල්ස් ඩි ගෝල් ගුවන් තොටුපළ සහ මෙට්‍රෝ දුම්රිය ස්ථාන වෙත යවා ඇති බව විමර්ශකයෝ පවසති. තමා මසකට යුරෝ 2,000ත් 5,000ත් අතර ආදායමක් උපයන පාවිච්චි කළ මෝටර් රථ අලෙවිකරුවෙකු බව රොබර්ටෝ අධිකරණයේදී ප්‍රකාශ කළේය. එහෙත් රජයේ නීතිඥවරියක වන ඇලිස් ගුයිලට් පැවසුවේ දඬුවම්වලින් බේරීම සඳහා මෙම පවුල හිතාමතාම බාලවයස්කරුවන් යොදාගෙන ඇති බවයි. ප්‍රංශයේ නීතියට අනුව සාපරාධී දඬුවම් නියම කළ නොහැකි වයසක් වන බැවින්, පොලිසියට හසුවුවහොත් තමන්ට වයස අවුරුදු 12ක් යැයි පවසන ලෙස මෙම ළමා සාක්කුකරුවන්ට උපදෙස් දී තිබේ. 2013 වසරේදී රොබර්ටෝගේ මාමා කෙනෙකු වන ෆෙහ්මි හමිඩොවික් වසර හතක සිරදඬුවමකට ලක්වීමෙන් පසුව, රොබර්ටෝ විසින් මෙම ජාලයේ පාලනය භාරගෙන ඇති බව වාර්තා වේ. හමිඩොවික් යුවළ මේ හරහා යුරෝ මිලියන 2ක පමණ ධනයක් රැස් කර ඇති අතර එය විදේශයන්හි සඟවා ඇති බවට වැඩිදුරටත් සැක කෙරේ.
