එක්සත් ජනපදයේ CNN, MS NOW සහ Politico යන ප්‍රමුඛ මාධ්‍ය ආයතන තුනෙහි මාධ්‍යවේදීන්ට ධවල මන්දිරයට ඇතුළුවීමට පනවා තිබූ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර දින 14ක තාවකාලික ප්‍රවේශයක් ලබා දෙන ලෙස කොළොම්බියා දිස්ත්‍රික් අධිකරණය නියෝග කර තිබේ. අධිකරණය දුන් මෙම තීන්දුවත් සමඟ, අදාළ මාධ්‍යවේදීන්ට ඊයේ දිනයේදී නැවතත් ධවල මන්දිරය වෙත ඇතුළු වීමට අවසර හිමි විය.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය සෙනසුරාදා හදිසියේම ක්‍රියාත්මක කළ මෙම තහනමට එරෙහිව මාධ්‍ය ආයතන ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලූ එක්සත් ජනපද දිස්ත්‍රික් විනිසුරු තිමෝති කෙලී විසින් අදාළ පරිපාලනය වෙත මෙම නියෝගය නිකුත් කරන ලදී.අධිකරණ තීන්දුව ලැබීමට පෙර මෙම මාධ්‍යවේදීන් ධවල මන්දිරයට ඇතුළු වීමට දැරූ උත්සාහයන් වැලකී ගිය අතර, රහස් ඔත්තු සේවා නිලධාරීන් විසින් CNN ධවල මන්දිර වාර්තාකාරිනී බෙට්සි ක්ලයින් ඇතුළු කිහිප දෙනෙකුගේ මාධ්‍ය හැඳුනුම්පත් අත්අඩංගුවට ගෙන තිබුණි. මාධ්‍යවේදීන්ගේ හැඳුනුම්පත් ආපසු ලබා දීමේ නියෝගය ධවල මන්දිරය විසින් කඩ කර ඇති බවට මාධ්‍ය ආයතනවල නීතිඥයන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ නමුත්, ධවල මන්දිරයේ මාධ්‍ය මෙහෙයුම් අධ්‍යක්ෂ මයිකා ස්ටොපෙරිච් දිවුරුම් දුන් ප්‍රකාශයක් මගින් ප්‍රකාශ කර සිටියේ පෙරවරු 7.10 ට මෙහෙයුම් කණ්ඩායමට ලැබුණු උපදෙස් මත පෙරවරු 9.07 වන විට රහස් ඔත්තු සේවය මගින් හැඳුනුම්පත් නැවත සක්‍රීය කර පෙරවරු 10.00 වන විට ඇතුළුවීමේ දොරටුව වෙත භාර දුන් බවයි.
අදාළ මාධ්‍ය ආයතන නිරන්තරයෙන් අසත්‍ය පුවත් පතූරුවන බවටත්, ඔවුන්ගේ ක්‍රියාකලාපය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවටත් චෝදනා කරමින් අධිකරණ දෙපාර්තමේන්තුවේ නීතිඥයින් තහනම සාධාරණීකරණය කිරීමට උත්සාහ කළද විනිසුරු තිමෝති කෙලී එම තර්ක පූර්ණ ලෙස ප්‍රතික්ෂේප කළේය. ධවල මන්දිරයේ මෙම පියවර මාධ්‍යවේදීන්ගේ නිසි ක්‍රියාපටිපාටියට අදාළ නීතිමය ආරක්ෂාවන් උල්ලංඝනය කිරීමක් බව පෙන්වා දුන් විනිසුරුවරයා, මාධ්‍ය අවසරපත්‍රයක් අවලංගු කිරීමට පෙර ඊට අදාළ නිසි රීති ප්‍රකාශයට පත් කිරීම, පූර්ව දැනුම්දීම සහ දඬුවමේ ස්වභාවය පැහැදිලි කිරීම අත්‍යවශ්‍ය බව අවධාරණය කළේය. මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ දැඩි විවේචනයට ලක්වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් දින 14 ඇතුළත මූලික තහනම් නියෝගයක් සඳහා වූ විභාගය පැවැත්වීමට නියමිත අතර, තමන්ට එරෙහි ඕනෑම අධිකරණ තීන්දුවකට එරෙහිව අභියාචනා කරන බව ජනාධිපති ට්‍රම්ප් 'Truth Social' ඔස්සේ සඳහන් කර ඇත.
