6.25 යාවත්කාලීන කිරීම
රජයට පාඩුවක් කරමින් දූෂණය නම් වරද සිදු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇප මත මුදා හරින්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියම කළේය.
මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහලට රුපියල් ලක්ෂ 74 ක පුටු සැපයීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකිරීමෙන් රජයට පාඩුවක්කර දූෂණය නම් වරද සිදු කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර අමාත්‍ය වරයා අද පෙරවරුවේ අත්අඩංගුවට ගත්තේය.
අධිකරණය, සැකකරුට විදෙස් තහනමක් ද පැනවීය.
11.00 යාවත්කාලීන කිරීම
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (04) පෙරවරුවේ පැමිණි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. විමර්ශන නිලධාරීන් කළ කැඳවීමකට අනුව ඔහු මෙලෙස අල්ලස් කොමිසම වෙත පැමිණ ඇත.
මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල සඳහා රුපියල් ලක්ෂ 74 ක වටිනාකමකින් යුතු පුටු මිලදී ගැනීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කරමින් රජයට පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව චෝදනා එල්ල වී ඇත. 2012 වසරේදී සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ, අමාත්‍යාංශය මගින් නිල වශයෙන් ටෙන්ඩර් කැඳවා තිබියදී එය නොසලකා හරිමින් වෙනත් පුද්ගලයෙකු මාර්ගයෙන් මෙම පුටු ලබා ගැනීම පිළිබඳව දැනට විමර්ශන ක්‍රියාත්මක වේ.
මෙම සිදුවීමට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් එකල අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස කටයුතු කළ පුද්ගලයාගෙන් ද මීට පෙර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.