hollywood-producer-harvey-weinstein-sentenced-to-15-years-in-prison-for-sexual-assault

හිටපු හොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදකයෙකු වන හාවි වයින්ස්ටයින් ලිංගික අතවර කිරීමේ චෝදනාවක් මත වසර 15ක සිරදඬුවමකට යටත් කර තිබේ. 2006 වසරේදී ඔහුගේ මෑන්හැටන් හි පිහිටි නිවසේදී හිටපු රූපවාහිනී නිෂ්පාදන සහයිකාවක් වන මීරියම් හේලිට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ඔහු මෙලෙස වරදකරු වී ඇත.

ඊයේ උදෑසන අධිකරණය හමුවේ පෙනී සිටි හේලි, තමා පසුගිය වසර හතක කාලය තුළ මුහුණ දුන් හිරිහැර සහ නින්දාවන් පිළිබඳව විවෘතව අදහස් දැක්වූවාය. ඇයගේ ප්‍රතිරූපයට හානි කිරීම සඳහා වයින්ස්ටයින් සහ ඔහුගේ නීතිඥ කණ්ඩායම විසින් මුදල් ගෙවා පුද්ගලයින් යොදවා තිබූ බවට ද ඇය එහිදී චෝදනා කළාය.




පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නිව්යෝර්ක් දිස්ත්‍රික් නීතිඥ නිකොල් බ්ලම්බර්ග්, වයින්ස්ටයින් සිය අපරාධ සම්බන්ධයෙන් කිසිදු පසුතැවිල්ලක් නොපෙන්වන බැවින් ඔහුට වසර 20ක සිරදඬුවමක් ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියාය. කෙසේ වෙතත්, වයින්ස්ටයින් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ තමා කළ ක්‍රියාවන් සම්බන්ධයෙන් දැඩි සේ පසුතැවෙන බවත්, ඒ පිළිබඳව අවංකවම සමාව අයදින බවත්ය. වයින්ස්ටයින්ගේ නීතිඥයින් තර්ක කළේ ඔහු රුධිර පිළිකාවක් සහ හෘද රෝගයක් ඇතුළු සෞඛ්‍ය ගැටලු රැසකින් පීඩා විඳින බැවින් ඔහුට වසර නවයක ලිහිල් දඬුවමක් ලබා දෙන ලෙසයි.

දඬුවම නියම කිරීමට පෙර විනිසුරු කර්ටිස් ෆාබර් ප්‍රකාශ කළේ, වයින්ස්ටයින් චිත්‍රපට නිෂ්පාදනයට වඩා #MeToo ව්‍යාපාරයේ මුහුණුවර ලෙස අනාගතයේදී මතකයේ රැඳෙනු ඇති බවයි. 74 හැවිරිදි මෙම හිටපු නිෂ්පාදකයා මීට පෙර 2020 වසරේදීද හේලිට සහ නිළි ජෙසිකා මෑන්ට කළ ලිංගික අතවර සම්බන්ධයෙන් වසර 23ක සිරදඬුවමකට නියම වී තිබුණි. නමුත් 2024 වසරේදී නිව්යෝර්ක් හි ඉහළම අධිකරණය විසින් එම තීන්දුව නිෂ්ප්‍රභ කරන ලද්දේ, නඩුවට අදාළ නොවන කාන්තාවන්ට සාක්ෂි දීමට ඉඩ සැලසීමෙන් නඩු විභාගයට අගතියක් වී ඇති බව පවසමිනි. ඉන්පසු පසුගිය වසරේදී යළිත් වරක් මෙම නඩුව විභාගයට ගත් අතර, එහිදී හේලිට කළ අතවරය සම්බන්ධයෙන් ඔහු යළිත් වරදකරු බවට තීරණය විය. ජෙසිකා මෑන්ට අදාළ නඩු විභාගයට නැවත මුහුණ දීමට ඇයට නොහැකි බව පැවසීම නිසා එම චෝදනාව පසුව ඉවත් කරනු ලැබීය.




මීට අමතරව, කැලිෆෝනියා ප්‍රාන්තයේ වෙනත් ස්ත්‍රී දූෂණ නඩුවක් සඳහාද වයින්ස්ටයින් යළි දඬුවම් ලැබීමට නියමිතව සිටී. ඉතාලි ජාතික නිරූපිකාවකට හෝටල් කාමරයකදී ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් 2022 වසරේදී ලබා දුන් එම දඬුවම පසුගිය ජුනි මාසයේදී කැලිෆෝනියා අභියාචනාධිකරණය විසින් තහවුරු කරන ලදී. මේ වන විට කාන්තාවන් 80කට වැඩි පිරිසක් මෙම අපකීර්තිමත් හොලිවුඩ් නිෂ්පාදකයාට එරෙහිව ලිංගික අතවර සහ අයහපත් හැසිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල කර තිබේ.

hollywood-producer-harvey-weinstein-sentenced-to-15-years-in-prison-for-sexual-assault

hollywood-producer-harvey-weinstein-sentenced-to-15-years-in-prison-for-sexual-assault