government-upgrades-prevention-of-terrorism-act

වසර 45කට අධික කාලයක් මෙරට බලපැවැත්වූ 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත මුළුමනින්ම අහෝසි කරමින් සකස් කරන ලද ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ රජය විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි නිකුත් කර ඇති මෙම නව පනත් කෙටුම්පත, පාර්ලිමේන්තුවේදී සම්මත වී නියමිත දින සිට ක්‍රියාත්මක වීමට නියමිතය.




ශ්‍රී ලාංකිකයන්, මෙරට හා විදේශයන්හි පිහිටි රාජ්‍ය තාන්ත්‍රික දේපොළ මෙන්ම ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම මෙම පනතේ ප්‍රධාන අරමුණයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් සහ ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි ත්‍රස්තවාදී වැරදි, විමර්ශන, රඳවා තබාගැනීම් හා නඩු පැවරීම් සඳහා වන නව නීතිමය රාමුවක් මෙයින් සපයා ඇත.

දේශපාලනික හෝ යම් මතවාදී අරමුණක් උදෙසා මහජනතාව භීතියට පත්කිරීමට හෝ රජයකට බලපෑම් කිරීමට අභිප්‍රාය වෙමින් සිදුකරන මිනීමැරුම්, බරපතළ තුවාල සිදුකිරීම්, ප්‍රාණඇපකරුවන් ලෙස තබාගැනීම්, යටිතල පහසුකම් හා පාරිසරික හානි මෙන්ම සයිබර් ප්‍රහාර ද මෙහිදී ත්‍රස්තවාදී වැරදි ලෙස අර්ථ දක්වා තිබේ.




එසේ වුවද, සාමකාමීව අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරැකීම සඳහා විශේෂ ප්‍රතිපාදන පනත් කෙටුම්පතට ඇතුළත් කර ඇත. ඒ අනුව, සාමකාමී විරෝධතා, වැඩවර්ජන ඇතුළු වෘත්තීය සමිති ක්‍රියාමාර්ග, මානුෂීය ආධාර සැපයීම් මෙන්ම ජනමාධ්‍යවේදීන්ගේ සාධාරණ වාර්තාකරණයන්, දේශපාලන විවේචන, අදහස් පළකිරීම් සහ අධ්‍යයන හෝ පර්යේෂණ කටයුතු කිසිදු ලෙසකින් ත්‍රස්තවාදී වැරදි හෝ ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමක් ලෙස නොසැලකෙන බව 4(4) වගන්තිය මඟින් තහවුරු කර තිබේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී සහ විමර්ශන පැවැත්වීමේදී පාරදෘශ්‍යභාවය තහවුරු කිරීම සඳහා නව පිළිවෙත් හඳුන්වා දී ඇත. යම් සැකකරුවකු අත්අඩංගුවට ගෙන පැය 48ක් ඇතුළත ආසන්නතම මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ යුතු අතර, අත්අඩංගුවට ගත් බව පැය 24ක් ඇතුළත ළඟම ඥාතියාට සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දීම අනිවාර්ය වේ. මීට අමතරව, ප්‍රශ්න කිරීම් ශ්‍රව්‍ය-දෘශ්‍ය (Audio-Visual) තාක්ෂණයෙන් පටිගත කළ යුතු අතර, මහෙස්ත්‍රාත්වරුන්ට සහ මානව හිමිකම් කොමිෂන් සභාවට පූර්ව දැනුම්දීමකින් තොරව රැඳවුම් මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීමේ බලය පවරා ඇත.



රඳවා තබාගැනීමේ කාලසීමාවන් සම්බන්ධයෙන් ද දැඩි සීමාවන් පනවා තිබේ. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කරන රැඳවුම් නියෝගයක් වරකට මාස දෙකකට නොවැඩි විය යුතු අතර, සමස්ත රඳවා තබා ගැනීමේ කාලය උපරිම වසරකට සීමා වේ. මාස දෙකකට වඩා වැඩි කාලයක් රඳවා තැබීමට මහාධිකරණයේ පූර්ව අනුමැතිය ලබාගත යුතුය. තවද, රැඳවුම් නියෝගවල නීත්‍යනුකූලභාවය පරීක්ෂා කිරීමට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ හෝ අභියාචනාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් ‘ස්වාධීන සමාලෝචන කමිටුවක්’ පිහිටුවීමට යෝජිත අතර, අගතියට පත් රැඳවියන්ට එම කමිටුව වෙත සහන ඉල්ලා සිටිය හැක.

සැකකරුවකු මහෙස්ත්‍රාත්වරයකු හමුවේ ලබා දෙන ප්‍රකාශ සාක්ෂියක් ලෙස පිළිගැනීමට නම්, අදාළ ප්‍රකාශයට පෙර සහ පසු අධිකරණ වෛද්‍ය පරීක්ෂණ පැවැත්වීම අනිවාර්ය වේ. යම් සැකකරුවකු වධහිංසාවට භාජනය වී ඇති බව පෙනී ගියහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට, ස්ථාන මාරු කිරීමට සහ පොලිස්පතිවරයා ලවා පරීක්ෂණ පැවැත්වීමට මහෙස්ත්‍රාත්වරයාට බලතල ඇත.

දඬුවම් නියම කිරීමේදී, ත්‍රස්ත ප්‍රහාරයකින් මරණයක් සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වන අයට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමිවේ. අනෙකුත් බරපතළ වැරදි, තහනම් සංවිධානවලට ආධාර අනුබල දීම හෝ අරමුදල් සැපයීම් සඳහා වසර 20 දක්වා බරපතළ වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් මිලියන 20 දක්වා දඩ නියම කළ හැකිය. කෙසේ වෙතත්, මරණ හෝ බරපතළ හානි සිදු නොවූ අවස්ථාවලදී, නීතිපතිවරයාගේ එකඟතාව සහ මහාධිකරණ අවසරය මත ප්‍රසිද්ධියේ සමාව අයැදීම, පුනරුත්ථාපනය හෝ වින්දිතයන්ට වන්දි ගෙවීම වැනි කොන්දේසි මත නඩු පැවරීම කල් තැබීමට හෝ අත්හිටුවීමට ද නව පනත් කෙටුම්පත මඟින් විධිවිධාන සලසා ඇත.

government-upgrades-prevention-of-terrorism-act