දකුණු ප්‍රදේශයෙන් පැලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය වෙත විශාල ලෙස මත්ස්‍ය තොග ලැබීම හේතුවෙන් මේ වන විට මත්ස්‍ය මිල ගණන් සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව පැලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි මහතා " ප්‍රකාශ කර තිබේ. ඊයේ 24 වැනිදා සිදුකළ මෙම අනාවරණයට අනුව, වත්මන් තත්ත්වය හමුවේ පාරිභෝගික ජනතාවට ඉතා සහනදායී හා අඩු මිලකට මත්ස්‍ය මිලදී ගැනීමට අවස්ථාව උදා වී ඇත.
පසුගිය මාසයේදී වෙළෙඳපොළට ලැබුණු මත්ස්‍ය තොග ප්‍රමාණය ශීඝ්‍රයෙන් පහත වැටීම නිසා මාළු මිල අධික ලෙස ඉහළ ගිය බව සභාපතිවරයා පෙන්වා දෙයි. ඒ අනුව පසුගිය මාසය තුළ තලපත් කිලෝවක මිල රුපියල් 2500 දක්වාත්, කොප්පරා කිලෝවක මිල රුපියල් 3000 දක්වාත්, සාලයා කිලෝවක මිල රුපියල් 1000 දක්වාත් ඉහළ ගොස් තිබුණි. මිල ගණන් මෙලෙස ඉහළ යාම හේතුවෙන් වෙළෙඳාම මුළුමනින්ම පාහේ අඩපණ වූ අතර, අලෙවි කර ගැනීමට නොහැකිව මත්ස්‍ය වෙළෙඳුන් දැඩි අසරණ තත්ත්වයකට පත් විය.
නමුත් වත්මන් කාලසීමාව වන විට වැසි සහිත කාලගුණය පැවතුණද වෙළෙඳපොළට බහුල ලෙස මත්ස්‍ය තොග ලැබෙමින් පවතී. කෙසේ වෙතත්, ඉදිරියේදී කුණාටු සහිත තත්ත්වයක් වර්ධනය වුවහොත් ලැබෙන මත්ස්‍ය ප්‍රමාණය යළි අඩු විය හැකි බවද ඒ මහතා සඳහන් කළේය. වත්මන් මිල අඩුවීම හමුවේ දැනට සාලයා කිලෝවක් රුපියල් 400 ත් 500 ත් අතර මුදලකටත්, තලපත් කිලෝවක් රුපියල් 1800 කටත්, කොප්පරා කිලෝවක් රුපියල් 2200 කටත් අලෙවි වන අතර, අනෙකුත් මත්ස්‍ය වර්ගවල මිල ගණන්ද සැලකිය යුතු ප්‍රමාණයකින් පහත බැස ඇත.
මාළු මිල පහත වැටීමත් සමග මින් පෙර අධික මිල නිසා මත්ස්‍ය මිලදී ගැනීමට නොහැකිව සිටි පාරිභෝගිකයන් විශාල පිරිසක් නැවතත් වෙළෙඳ සංකීර්ණය වෙත පැමිණෙමින් සිටිති. මෙම තත්ත්වය පාරිභෝගිකයන්ට මෙන්ම වෙළෙඳුන්ටද යහපත් වාතාවරණයක් නිර්මාණය කර ඇති බව සභාපතිවරයා සඳහන් කරයි. පාරිභෝගිකයන් වෙළෙඳ සංකීර්ණය වෙත පැමිණෙන්නේ විශ්වාසය මත බැවින් ඔවුන්ට කිසිදු අසාධාරණයක් සිදු නොකරන බවත්,
යම් හෙයකින් පාරිභෝගිකයෙකුට අසාධාරණයක් සිදුවුවහොත් ඒ පිළිබඳව තමන් දැනුවත් කරන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටී. දසදහසකට අධික වෙළෙඳ ව්‍යාපාරිකයන් පිරිසක් සක්‍රීයව වෙළෙඳාමේ නිරත වන පැලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය තුළ සැමවිටම සාධාරණ සේවාවක් සැපයීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
