තමන්ගේම ලේ නෑකම් ඇති දියණිය ලිංගික අපයෝජනයට ලක්කිරීමේ වරදට හම්බන්තොට මහාධිකරණය මගින් පියෙකුට පනවන ලද වසර 15ක බරපතළ වැඩ සහිත සිරදඬුවම තහවුරු කිරීමට අභියාචනාධිකරණය පියවර ගෙන තිබේ. විනිසුරු අමල් රණරාජ සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසින් අදාළ විත්තිකරු ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව එය නිෂ්ප්‍රභ කරමින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කරන ලදී.
2018 වසරේ ඔක්තෝබර් මාසය තුළ සිය දියණිය අපයෝජනයට ලක්කළ බවට එල්ල වූ චෝදනා තුනක් සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබිණි. දීර්ඝ නඩු විභාගයකින් පසුව, දණ්ඩ නීති සංග්‍රහයේ 364(3) වගන්තිය යටතේ ඉදිරිපත් වූ එක් චෝදනාවකට පමණක් විත්තිකරු වරදකරු කිරීමට 2025 ජූලි 16 වන දින හම්බන්තොට මහාධිකරණය තීන්දු කළ අතර, අනෙක් චෝදනා දෙකෙන් ඔහුව නිදොස් කොට නිදහස් කිරීමට පියවර ගැනුණි.
එකී මහාධිකරණ තීන්දුව මගින් විත්තිකරුට වසර 15ක බරපතළ වැඩ සහිත සිරදඬුවමකට අමතරව රුපියල් 10,000ක දඩයක් නියම කෙරුණු අතර, අපයෝජනයට ලක්වූ දියණියට රුපියල් 400,000ක වන්දි මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබුණි. එමෙන්ම දඩ මුදල හෝ වන්දි මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවහොත්, ඒ වෙනුවෙන් තවත් මාස හය බැගින් වූ අමතර බරපතළ වැඩ සහිත සිරදඬුවම් විඳිය යුතු බව එහිදී වැඩිදුරටත් දක්වා තිබිණි.
අපරාධය සිදුවූ නිශ්චිත දින වකවානු තහවුරු කිරීමට පැමිණිල්ල අපොහොසත් වීම, වින්දිතයාගේ සාක්ෂිවල පවතින බව කියන ගැටලුකාරී ස්වභාවය, මගපෙන්වන ප්‍රශ්න භාවිත කිරීම සහ තමා විසින් කරන ලද දිවුරුම් නොදුන් ප්‍රකාශය සලකා බැලූ ආකාරය යන කරුණු මුල් කරගනිමින් විත්තිකරු විසින් මහාධිකරණ තීන්දුවට එරෙහිව මෙම අභියාචනය ගොනුකර තිබිණි.
එහෙත් විත්ති පාර්ශ්වය නැගූ සියලු තර්කයන් ප්‍රතික්ෂේප කරමින් තීන්දුව ප්‍රකාශයට පත්කළ අභියාචනාධිකරණ විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා සඳහන් කළේ, පැමිණිල්ල ඉදිරිපත් කළ කරුණු වඩාත් සම්භාවිතාවකින් යුක්ත වන බවයි. මහාධිකරණ විනිසුරුවරයා එළඹි නිගමනවලට මැදිහත් වීමට කිසිදු නීත්‍යානුකූල පදනමක් නොමැති බව පෙන්වා දුන් අභියාචනාධිකරණය, 2025 ජූලි 16 වන දින සිට බලපැවැත්වෙන පරිදි අදාළ සිරදඬුවම, දඩය සහ වන්දි ගෙවීමේ නියෝගය වෙනස්කම්වලින් තොරව බලාත්මක වන බව නියෝග කළේය.
