customs-stolen-food-worth-40-million-last-year

ශ්‍රී ලංකා රේගු මූලස්ථාන ගොඩනැගිල්ලේ සහ වරාය පරිශ්‍රයේ කටයුතු කිහිපයකදී නියමිත ප්‍රසම්පාදන පටිපාටි උල්ලංඝනය කරමින් කෝටි ගණනක මුදල් ගෙවීම් සිදුකර ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවකින් අනාවරණය වේ. ශ්‍රී ලංකා රේගුවේ 2025 වාර්ෂික වාර්තාවට ඇතුළත් කර ඇති මෙම විගණන වාර්තාවට අනුව, වරාය පරිශ්‍රයේ සේවයේ නියුතු රේගු නිලධාරීන්ගේ දිවා සහ රාත්‍රී ආහාර සැපයීම වෙනුවෙන් පසුගිය වසරේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බාහිරව රුපියල් හාරකෝටි එකොළොස් ලක්ෂයකට අධික මුදලක් ගෙවා ඇත.




මීට අමතරව ශ්‍රී ලංකා රේගු මූලස්ථාන ගොඩනැගිල්ලේ ආපනශාලාව පවත්වාගෙන යාමේදී ද විධිමත් ප්‍රසම්පාදන ක්‍රමවේදයක් අනුගමනය කර නොමැති බව අදාළ වාර්තාව පෙන්වා දෙයි. එහිදී තෝරාගනු ලැබූ පාර්ශ්වය සමඟ කිසිදු වලංගු ගිවිසුමකට එළැඹී නොතිබූ අතර, 2024 පෙබරවාරි 14 වැනිදා සිට මේ දක්වා අදාළ ආපනශාලාව පවත්වාගෙන ගොස් ඇත්තේ ද මෙම අවිධිමත් ආකාරයට බව විගණන නිලධාරීන් විසින් පෙන්වා දී තිබේ.

එමෙන්ම, වාහන නිෂ්කාශන කටයුතු සම්බන්ධයෙන් විගණන කාර්යාලය විසින් යොමු කරන ලද විගණන විමසුමකට අදාළව පිළිතුරු ලබාදීම රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මාස හයකට ආසන්න කාලයක් තිස්සේ පැහැර හැර ඇති බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.