
2019 වසරේ සිට බ්‍රිතාන්‍යයේ අතුරුදන්ව සිටි තිදරු මවකගේ බවට තහවුරු වූ අස්ථි කොටස් ලැව්ගින්නකින් විනාශ වූ කැලෑබද ප්‍රදේශයකින් සොයාගැනීමෙන් පසු මිනීමැරුම් කුමන්ත්‍රණ චෝදනාවක් මත සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. වසර හතකට ආසන්න කාලයක් අතුරුදන්ව සිටි 44 හැවිරිදි ජොආන් ෂීන් නමැති මෙම කාන්තාවගේ අස්ථි කොටස් මෙලෙස සොයාගෙන ඇත්තේ ඇය අතුරුදන් වූ ප්‍රදේශයේ සිට සැතපුම් 60කට වඩා දුරින් පිහිටි නිරිතදිග ලන්ඩනයේ ෆෙල්තම් ප්‍රදේශයේ හටගත් ලැව්ගින්නකින් පසුවය.
හැම්ප්ෂයර් පොලිසිය විසින් මෙම සිදුවීමට අදාළව සවුත්හැම්ප්ටන් ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.මෙම කාන්තාව අවසන් වරට දැක ඇත්තේ 2019 වසරේ දෙසැම්බර් මස 5 වන දින ඇයගේ මිතුරෙකු සමඟ ෆෙයාර්හැම් හි සිට සිය ගම්පළාත වන සවුත්හැම්ප්ටන් දක්වා ගමන් කරමින් සිටියදීය. මාස කිහිපයක් යනතුරුත් ඇයගෙන් කිසිදු තොරතුරක් නොලැබීම හේතුවෙන් පවුලේ සාමාජිකයින් විසින් 2020 වසරේ පෙබරවාරි මාසයේදී පොලිසියට පැමිණිලි කර තිබුණි. 'ලිට්ල් ජෝ' ලෙසින්ද හැඳින්වූ අඩි පහක් උසැති මෙම කාන්තාවගේ අතුරුදන්වීම පිළිබඳව පොලිසිය විසින් පුළුල් විමර්ශනයක් දියත් කර තිබූ අතර, එහිදී විමර්ශන මාර්ග 4000කට අධික ප්‍රමාණයක් ඔස්සේ පරීක්ෂණ පවත්වා, ප්‍රකාශ 300කට වඩා සටහන් කරගෙන තිබුණි. එසේම ඇය ගැවසුණු ලිපිනයන් දහයකට අධික ප්‍රමාණයක් සහ යාත්‍රා කිහිපයක්ද පොලිස් සෝදිසියට ලක්විය.
බෙඩ්ෆොන්ට් ලේක්ස් කන්ට්‍රි පාර්ක් ආසන්නයේ හෙක්ටයාර් දෙකක පමණ භූමි ප්‍රදේශයක පැතිර ගිය ගින්නෙන් දින කිහිපයකට පසු, අගෝස්තු 12 වන දින ප්‍රදේශයේ ගමන් ගත් පුද්ගලයෙකු විසින් මෙම අස්ථි කොටස් මුලින්ම දැක ඇත. ඩීඑන්ඒ සහ අධිකරණ වෛද්‍ය පරීක්ෂණ මගින් මෙම දේහය ෂීන් මහත්මියගේ බවට පසුව පොලිසිය විසින් තහවුරු කරන ලදී. ඇයට ස්ථිර ලිපිනයක්, බැංකු ගිණුමක් හෝ මෝටර් රථයක් නොමැති වීම හේතුවෙන් පොලිස් විමර්ශන කටයුතු සඳහා දැඩි බාධා එල්ල වී තිබුණි. මීට පෙර 2020 වසරේදීද මෙම සිද්ධියට අදාළව පිරිමි පුද්ගලයින් පස් දෙනෙකු සහ එක් කාන්තාවක් අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කර තිබේ.
ඇයගේ දියණියන් දෙදෙනා වන ලේලා සහ හේලි විසින් සිය මව ඉතා ප්‍රියමනාප මෙන්ම මිත්‍රශීලී කාන්තාවක් බවට විස්තර කර තිබුණි. කෙසේ වෙතත් ඇය ලිංගික ශ්‍රමිකයෙකු ලෙසද කටයුතු කර ඇති බවට පොලිසිය විසින් මීට පෙර ප්‍රකාශ කර තිබේ. මෙම අස්ථි කොටස් සොයාගැනීමත් සමඟ විමර්ශන සඳහා නව මාර්ග රැසක් විවෘත වී ඇති බව රහස් පරීක්ෂක ප්‍රධානී ටෝබි එල්කොක් සඳහන් කළේය. මේ අතර, මෙම විමර්ශනයට සහාය වන නිවැරදි තොරතුරක් ලබාදෙන අයෙකුට පවුම් 20,000ක මුදල් ත්‍යාගයක් ලබාදීමට ක්‍රයිම්ස්ටොපර්ස් ආයතනය විසින් නැවතත් පියවර ගෙන තිබේ.
