ලබන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත එක්සත් ජනපද අතුරු මැතිවරණයට දින 45 ක් ඉතිරිව තිබියදී, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන අතර පවතින ගැටුම් තවදුරටත් තීව්‍ර වී තිබේ. එහි එක් පියවරක් ලෙස සී.එන්.එන්.
(CNN), එම්.එස්. නව් (MS NOW) සහ පොලිටිකෝ (Politico) යන ඇමෙරිකානු මාධ්‍ය ආයතනවලට ධවල මන්දිරයට ඇතුළු වීම තහනම් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.ජනාධිපති ට්‍රම්ප් සිය තීරණය නිවේදනය කර ඇත්තේ තමන්ගේම සමාජ මාධ්‍ය ජාලය වන 'ටෲත් සෝෂල්' (Truth Social) හි සටහනක් තබමිනි. එහිදී ඔහු සී.එන්.එන්. ආයතනය 'අසත්‍ය පුවත්' පළකරන මාධ්‍යයක් ලෙස හඳුන්වා දී ඇති අතර, එම්.එස්. නව් ආයතනය යනු අඩු ප්‍රේක්ෂක ප්‍රතිචාර සහ විශ්වාසනීයත්වය පිරිහීම නිසා මෑතකදී නම වෙනස් කරගත් ආයතනයක් බව ප්‍රකාශ කළේය. එමෙන්ම හිටපු ජෝ බයිඩන් පාලන සමයේදී පොලිටිකෝ ආයතනය ඩොලර් මිලියන 8 ක නීති විරෝධී සහ අසාධාරණ ග්‍රාහක ගාස්තුවක් ලබාගෙන ඇති බවට ද ඔහු චෝදනා කළේය. නොකඩවා සිදුකරන අසත්‍ය පුවත් වාර්තා කිරීම හේතුවෙන් මෙම තහනම පැනවූ බවත්, ඉදිරියේදී මෙවැනි තවත් අසත්‍ය පුවත් වාර්තා කරන මාධ්‍ය ආයතන කිහිපයකට තහනම් නියෝග පනවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
පසුව ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් හමුවූ ජනාධිපතිවරයාගෙන්, මෙම ක්‍රියාමාර්ගය මගින් මාධ්‍ය නිදහස තහවුරු කරන පළමු සංශෝධනය උල්ලංඝනය වන්නේදැයි විමසන ලදී. ඊට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ තමන් ද පළමු සංශෝධනය ආරක්ෂා කරන බවත්, මෙම ආයතන දිගින් දිගටම අසත්‍ය පුවත් වාර්තා කරන බවත්ය. පසුගිය වසර දෙක තුළ එකතු වූ වාර්තා කිරීම් පදනම් කරගෙන මෙම පියවර ගත් බව පැවසූ ඔහු, රිපබ්ලිකන් පක්ෂයේ සහ පාලන අධිකාරියේ කීර්ති නාමයට හානි කිරීමේ අරමුණින් මෙම මාධ්‍ය ආයතන සෘණාත්මක ලිපි පළ කරන බවට චෝදනා කළේය.
තමන්ගේ පාලන සමය තුළ රැකියා නියුක්ති අනුපාතය සහ දිළිඳුකම පිටුදැකීම වැනි ආර්ථික දර්ශකවල කැපී පෙනෙන ප්‍රගතියක් අත්කර ගැනීමට හැකි වූ බව මෙහිදී මතක් කර දුන් ජනාධිපතිවරයා, ඉරානය සමඟ පවතින අර්බුදය පිළිබඳව ද අදහස් දැක්වීය. එහිදී ඔහු ප්‍රකාශ කළේ ඉරානයට මින් ඉදිරියට න්‍යෂ්ටික ආයුධ හිමිකර ගැනීමට ඉඩ නොලැබෙන බවයි.
මෙම මාධ්‍ය තහනම සම්බන්ධයෙන් නීතිමය අභියෝග මතුවුවහොත් කුමක් සිදුවේදැයි විමසූ විට, එය අධිකරණ ක්‍රියාවලිය හරහා ගියත් නැතත් මෙම කරුණ පෙන්වා දීම හොඳ දෙයක් බව ට්‍රම්ප් පැවසීය. දිනපතා අසත්‍ය පුවත් පළ කිරීමට අධිකරණය ඉඩ නොදිය යුතු බව සඳහන් කළ ඔහු, එම මාධ්‍ය ආයතනවලට ලිපි ලිවීමට බාධාවක් නැතත් ජනතාවගේ මන්දිරය වන ධවල මන්දිරයට ඔවුන්ව ඇතුළත් කර ගැනීමට තමන්ට අවශ්‍යතාවක් නොමැති බව අවධාරණය කළේය.
මීට අමතරව, ද නිව්යෝර්ක් ටයිම්ස් (NYT) සහ ද වොෂින්ටන් පෝස්ට් (WP) වැනි ප්‍රධාන පුවත්පත් ද 'අසත්‍ය පුවත්' වාර්තාකරණයේ යෙදෙන බවට චෝදනා කළ ජනාධිපතිවරයා, ඉදිරියේදී එම පුවත්පත්වලට ද ධවල මන්දිරයට ඇතුළුවීමට අවසර නොලැබීමට ඉඩ ඇති බවට සඳහන් කළේය.
