චීනයේ වෙසෙන දෙමාපියන් තම දරුවන් පිළිබඳව විපරමෙන් පසුවීම සඳහා ස්මාර්ට් අත්ඔරලෝසු භාවිත කිරීමට විශාල වශයෙන් යොමු වී සිටිති. මේ සඳහා ප්‍රධාන වශයෙන්ම භාවිත කරනු ලබන්නේ Xiaotiancai හෙවත් "Little Genius" නමැති චීන සන්නාමයේ ස්මාර්ට් අත්ඔරලෝසු වන අතර, ඒ ඔස්සේ දරුවන් සිටින ස්ථානය සජීවීව නිරීක්ෂණය කිරීමටත්, වීඩියෝ මගින් අමතා සංවාදයේ යෙදීමටත් පහසුකම් සැලසේ.
වයස අවුරුදු 5 ත් 12 ත් අතර දරුවන්ගෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් මෙම තාක්ෂණය භාවිත කරන අතර, නාගරික ප්‍රදේශවල එම අගය සියයට පනහ ඉක්මවයි. චීනයෙන් පිටත Imoo ලෙස ප්‍රසිද්ධ මෙම Little Genius අත්ඔරලෝසු පළමු වරට 2015 දී වෙළඳපොළට හඳුන්වා දෙන ලදී. Counterpoint Research ආයතනයට අනුව, 2026 වසරේ පළමු භාගය වන විට ලොව පුරා ළමා ස්මාර්ට් අත්ඔරලෝසු අලෙවියෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් මෙම සමාගම සතු වූ අතර, එම ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවා තිබේ. සමස්ත ජාත්‍යන්තර ළමා ස්මාර්ට් අත්ඔරලෝසු වෙළඳපොළෙන් සියයට 58 ක් හිමිකර ගනිමින් චීනය එහි ප්‍රමුඛතම ස්ථානය ගෙන ඇත. මෙම අත්ඔඩලෝසු ඇමෙරිකානු ඩොලර් 90 සිට 300 දක්වා විවිධ මිල ගණන් යටතේ අලෙවි වන අතර,
ජංගම දුරකථන මෙන් SIM පත් යොදා ගනිමින් ක්‍රියාත්මක වේ. එමෙන්ම දෙමාපියන්ට තමන්ගේ ගිණුම් හරහා මුදල් බැර කර දරුවන්ට මිලදී ගැනීම් කිරීමට පහසුකම් සලසන ගෙවීම් යෙදවුම් ද මීට ඇතුළත් කර ඇත. දරුවන් නිවසින් පිටත සෙල්ලම් කිරීමට හෝ පොදු ස්ථානවලට යන අවස්ථාවලදී ඔවුන් අතුරුදහන් වේ යැයි පවතින බිය අවම කර ගැනීමට මෙම අත්ඔරලෝසු මගින් දෙමාපියන්ට ලොකු අත්වැලක් ලැබී තිබේ. තවත් සුවිශේෂී කරුණක් වන්නේ Little Genius අත්ඔඩලෝසු දෙකක් එකිනෙක ස්පර්ශ කිරීමෙන් එකම සන්නාමයේ අත්ඔරලෝසු පාවිච්චි කරන දරුවන්ට මිතුරන් ලෙස එකතු වීමේ විශේෂ සමාජ ජාල පහසුකමක් පැවතීමයි. මෙමගින් දරුවන්ට පණිවුඩ හුවමාරු කර ගැනීමටත්, ඡායාරූප ලබා ගැනීමටත් හැකි වුවද,
Apple, Xiaomi හෝ Huawei වැනි වෙනත් සන්නාමයන් භාවිත කරන දරුවන්ට මෙම ජාලයට සම්බන්ධ විය නොහැක. මෙ හේතුවෙන් බොහෝ දෙමාපියන්ට සිදුව ඇත්තේ තම දරුවන්ට ද එම සන්නාමයේම අත්ඔරලෝසු ලබා දීමටයි. කෙසේ වෙතත්, මෙම ස්මාර්ට් අත්ඔඩලෝසු දරුවන් තුළ දැඩි ඇබ්බැහිවීම් හා සමාජීය මානසික පීඩනයන් ඇති කරන බවටත්, පන්ති කාමර තුළ බාධා පමුණුවන බවටත් චීන රාජ්‍ය මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ විවේචන එල්ල වී තිබේ. එමෙන්ම අන් දරුවන්ගේ මිල අධික අත්ඔරලෝසු සමග සසඳමින් තමන්ගේ දරුවන් අඩු තක්සේරුවකට ලක්වේ යැයි ඇතැම් දෙමාපියන් බිය පළ කරති. එසේ වුවද, අන්තර්ජාලයට සීමාරහිතව පිවිසිය හැකි ජංගම දුරකථනයකට වඩා, දෙමාපියන්ට පාලනය කළ හැකි යෙදවුම් සහ සතුටුදායක ආරක්ෂාවක් සපයන මෙම අත්ඔරලෝසු වඩාත් සුදුසු බව බොහෝ දෙමාපියන්ගේ විශ්වාසයයි.
