bombing-the-house-where-the-two-children-were-killed-in-dehiwala-was-a-mistake

දෙහිවල, සිරිසඟබෝ මාවතේ පිහිටි නිවසකට ඊයේ (11) අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයකින් එකම පවුලේ බාලවයස්කාර දරුවන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත. ප්‍රහාරයෙන් එම දරුවන්ගේ පියා වන හෙට්ටිආරච්චිගේ නලින් තුසන්ත නැමැත්තා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

මෙම අපරාධයේ සැබෑ ඉලක්කය තුවාල ලැබූ නලින් නැමැත්තා නොව, මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බව කියන ඔහුගේ සහෝදරයා බවට දැනට සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත. නලින් නැමැත්තාගේ නිවස සහ ඔහුගේ සහෝදරයාගේ නිවස එකම බිත්තියකින් වෙන් වී පැවතීම නිසා, ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි පාතාල අපරාධකරු ඉලක්කගත පුද්ගලයාගේ නිවස යැයි සිතා වැරදීමකින් මෙම නිවසට අත්බෝම්බය ගසා පලාගොස් ඇති බවට පොලිසිය නිගමනය කරයි.




ජීවිකාව සරි කරගැනීම සඳහා ත්‍රිරෝද රථයක් පදවමින් කුලී ගමන්වල නිරතවන නලින් නැමැත්තා, තම බිරිඳ ඔවුන් හැරගිය පසුව මෙම දරුවන් දෙදෙනා මහත් අසීරුවෙන් රැකබලා ගෙන තිබේ. මෙම අත්බෝම්බ ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ දාහත්ව හැවිරිදි කසුන් රස්මක සහ ඔහුගේ එකොළොස් හැවිරිදි බාල සොහොයුරා වන අජිත් ගිහාන් යන දරුවන් දෙදෙනාය. කසුන් අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත්ව සිටි අතර, ඔහුගේ මල්ලී අටවැනි වසරේ ඉගෙනුම ලබමින් සිට ඇත. සිද්ධිය වූ දිනට පෙරදින රාත්‍රියේ නලින් තම දරු දෙදෙනා ද සමඟ නිවසේ බිම පැදුරක් එලාගෙන නින්දට ගොස් තිබේ.

ඊයේ අලුයම 3.15 ට පමණ කිසිවෙකු නිවසේ ඉදිරිපස දොරට තට්ටු කරන ශබ්දය ඇසී නලින් දොර විවෘත කිරීමට ගිය අවස්ථාවේදී, දොර ආසන්නයේ සිටි පුද්ගලයෙකු අත්බෝම්බයක් නිවස තුළට විසිකර ඇත. ඉන්පසු එම පුද්ගලයා විසින්ම වහාම දොර වසා, පිටත සිටි අනිත් සගයා සමඟ ත්‍රිරෝද රථයක නැගී පලාගොස් තිබේ. නිවස තුළ අත්බෝම්බය පුපුරා යාමෙන් නලින් සහ ඔහුගේ දරුවන් දෙදෙනා බරපතළ තුවාල ලබා සිටි අතර, අසල්වාසීන් විසින් ඔවුන් තිදෙනා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. එහිදී දරුවන් දෙදෙනා මියගොස් ඇති අතර, නලින් නැමැත්තාගේ පාද දෙකටම බරපතළ හානි සිදුවී ඇති බව පොලිසිය පවසයි.




සාමාන්‍ය පෙළ විභාගය සමත් වී සිටි කසුන් රස්මක, ගෙදර පවතින දැඩි අගහිඟකම් හේතුවෙන් උසස් පෙළ හැදෑරීමට පාසල් නොගොස් එළඹෙන සඳුදා සිට ඉන්ධන පිරවුම්හලක රැකියාවට යාමට සූදානම්ව සිට ඇත. "අම්මා දාලා ගිය දවසේ ඉඳලා මටයි මල්ලිටයි කන්න බොන්න දීලා පාසල් අරින්න තාත්තා ලොකු උත්සාහයක් ගන්නවා. ඒ නිසා මට උසස් පෙළ යන්න විදිහක් නෑ. පන්ති යන්න සල්ලිත් නෑ. ඒ නිසා මම ආයේ ඉස්කෝලේ එන්නේ නෑ. මම රස්සාව කරලා මල්ලිට හොඳට උගන්නලා ලොකු තැනකට ගේනවා" යනුවෙන් කසුන් මීට දින කිහිපයකට ඉහතදී තම පාසල් මිතුරන් සමඟ පවසා තිබූ බව අනාවරණය වේ. එමෙන්ම මීට දින කිහිපයකට පෙර ප්‍රදේශයේ හඳුනන අයෙකුගේ අවමංගල්‍ය උත්සවයකට සිය මිතුරන් සමඟ ගිය බාල සොහොයුරා ද "මමත් ළඟදීම දවසක මැරෙයිද දන්නේ නෑ" යනුවෙන් පවසා තිබේ.

පොලිස් පරීක්ෂණවලට අනුව නලින් නැමැත්තාගේ සහෝදරයා, ඩුබායි හි සැඟව සිටින පාතාල කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සැන්ඩෝ නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ සමීපතමයෙකි. ඔහුට එරෙහිව ද මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා පවතින අතර, ඔහු බෝම්බ ප්‍රහාරය සිදුවූ නිවසට යාබද නිවසේ පදිංචිව සිටියි. මෙම බෝම්බ ප්‍රහාරය සැන්ඩෝ නැමැති පාතාල කල්ලි නායකයාගේ ප්‍රතිවාදීන් ලෙස සැලකෙන කොස්මල්ලී, චුවා සමන්ත, කුඩු අවිශ්ක සහ ඒ.ඩී. යන අයගේ පාර්ශ්වයෙන් එල්ල වූවක් බවට තොරතුරු ලැබෙමින් පවතින බව පොලිසිය සඳහන් කරයි.



මෙම අත්බෝම්බ ප්‍රහාරය එල්ල කිරීම සඳහා පැමිණ ඇති බවට සැකකෙරෙන්නේ පාතාලයට සම්බන්ධ ජනිත් නැමැත්තෙකු බව පාතාල මර්දන කටයුතුවල නිරත උසස් පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත. දෙහිවල, කොහුවල සහ ගල්කිස්ස ප්‍රදේශවල පසුගිය කාලයේ වරින් වර එල්ල වූ අත්බෝම්බ ප්‍රහාර සහ වෙඩි තැබීම් ගණනාවක් සම්බන්ධයෙන් ද මෙම ජනිත් නැමැත්තා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි. සැන්ඩෝ සහ කොස්මල්ලී යන පාතාල කල්ලි දෙක අතර එකිනෙකාගේ සමීපතමයන් ඉලක්ක කරගනිමින් පසුගිය කාලය පුරා සිදුවූ වෙඩි තැබීම් සහ අත්බෝම්බ ප්‍රහාරවලින් මේ වන විට පුද්ගලයින් විසිදෙනෙකුට අධික පිරිසක් මියගොස් ඇති බව පැවසේ.

කොස්මල්ලී සහ චුවා සමන්ත යන පාර්ශ්වයට ගිනිඅවි සහ මත්ද්‍රව්‍ය සැපයීම පිටුපස විදේශයන්හි සැඟව සිටින කංජිපානි ඉම්රාන්, උණාකුරුවේ සාන්ත, ඩුබායි ගගන සහ හඳයා යන අපරාධකරුවන් සිටින බවට ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කරගෙන තිබේ. ප්‍රහාරය සඳහා සැකකරුවන් දෙදෙනා රතු පැහැති ත්‍රීරෝද රථයකින් පැමිණෙන ආකාරය සහ පලායන ආකාරය දැක්වෙන සීසීටීවී දර්ශන පෙළක් පොලිසිය සොයාගෙන ඇත. එම ත්‍රීරෝද රථය පාදුක්ක ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී ඊයේ දහවල් සොයාගනු ලැබීය.

දෙහිවල පොලිසිය විසින් එම ත්‍රීරෝද රථය ඇඟිලි සලකුණු පරීක්ෂණ විශේෂඥයන් වෙත යොමුකර සැකකටයුතු ඇඟිලි සලකුණු මතු කරගැනීමට කටයුතු යොදා ඇත. එම ඇඟිලි සලකුණු, පොලිස් අපරාධ තොරතුරු කොට්ඨාසයේ දත්ත ගබඩාවේ ඇති ඇඟිලි සලකුණු සමඟ සංසන්දනය කර අපරාධකරුවන් හඳුනා ගැනීමට උත්සාහ කෙරේ. ගල්කිස්ස කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ ඒකකයේ නිලධාරීන් ද සිද්ධිය වූ ස්ථානයට පැමිණ විමර්ශන ආරම්භ කර තිබේ.

පලාගිය ඝාතකයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අශෝක ගුණසේකර මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇත. මීට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ පොලිස් බුද්ධි අංශ නිලධාරීන් ද පරීක්ෂණ පවත්වයි. බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ උපදෙස් මත, බස්නාහිර දකුණු දිසාභාර නියෝජ්‍ය පොලිස්පති සාමාන්ත විජේසේකර මහතාගේ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අශෝක ගුණසේකර මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශය, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සහ බස්නාහිර දකුණු අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීහු වැඩිදුර විමර්ශන මෙහෙයවති.

bombing-the-house-where-the-two-children-were-killed-in-dehiwala-was-a-mistake

bombing-the-house-where-the-two-children-were-killed-in-dehiwala-was-a-mistake

bombing-the-house-where-the-two-children-were-killed-in-dehiwala-was-a-mistake

bombing-the-house-where-the-two-children-were-killed-in-dehiwala-was-a-mistake