request-from-sri-lankan-representative-at-un-human-rights-commission

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය මගින් රටවල් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කෙරෙන විශේෂ මානව හිමිකම් බලතල (mandates) සදාකාලිකව පවත්වාගෙන යාම වැළැක්වීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් මහතාගෙන් ඉල්ලා සිටී. ජිනීවා නුවර පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වැනි සැසිවාරයේ අජෙන්ඩා අයිතම 2 යටතේ පැවැති සාමාන්‍ය විවාදයේදී අඟහරුවාදා (8) අදහස් දක්වමින් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, තනාපති සුමිත් දසනායක මහතා මෙම ඉල්ලීම සිදු කළේය.

අදාළ රටවල් ප්‍රගතියක් පෙන්වන විට එම බලතල අවසන් කිරීම සඳහා පැහැදිලි ක්‍රමවේදයන් සහ වරින් වර සිදු කරන සමාලෝචන අවශ්‍ය බව හෙතෙම පෙන්වා දුන්නේය.




කිසිදු මානව හිමිකම් බලතලයක් කාල සීමාවකින් තොරව පවත්වාගෙන යා නොහැකි බවත්, රටවල් සඳහා වන බලතල පැහැදිලිව අර්ථ දක්වන ලද අරමුණු සහ මැනිය හැකි ප්‍රතිඵල මත පදනම්ව වරින් වර සමාලෝචනය කළ යුතු බවත් තනාපති දසනායක මහතා එහිදී අවධාරණය කළේය. සුදුසු අවස්ථාවලදී රටවල් සම්බන්ධ යෝජනාවලියට අවසාන කාලසීමා ඇතුළත් කිරීමේ වගන්ති (sunset clauses) සහ අදියරමය වශයෙන් ඉවත් වීමේ ප්‍රතිපාදන ඇතුළත් කළ යුතු බවද ඔහු සඳහන් කළේය. ජාතික ක්‍රියාවලීන්, සංවාද, සහයෝගීතාව සහ තාක්ෂණික සහාය හරහා ප්‍රගතියක් පෙන්වන රටවලට එවැනි බලතල අවසන් කර ගැනීම සඳහා විශ්වාසදායක මාර්ගයක් පැවැතීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා නියෝජිතයා පැහැදිලි කළේය.

බලතල ඉදිරියට පවත්වාගෙන යාම සාධාරණීකරණය කළ යුත්තේ ආයතනික වශයෙන් ඒවා පවත්වාගෙන යාමේ අවශ්‍යතාව මත නොව, තහවුරු කළ හැකි ප්‍රතිඵල මත පමණක් බව තනාපතිවරයා ප්‍රකාශ කළේය. එමෙන්ම, කාර්යයන් එකිනෙක අතිපිහිටන අවස්ථාවලදී මණ්ඩලයේ සම්පත් භාවිතයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා එම බලතල ඒකාබද්ධ කිරීමට හෝ විධිමත් කිරීමට කටයුතු කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය. මානව හිමිකම් මණ්ඩලයේ සීමිත සම්පත් සන්නද්ධ ගැටුම්, මානුෂීය අර්බුද සහ අවතැන්වීම් වැනි ලෝකය මුහුණ දෙන වඩාත් හදිසි මානව හිමිකම් අභියෝග කෙරෙහි යොමු කළ යුතු බව ශ්‍රී ලංකා නියෝජිත පිරිස වැඩිදුරටත් අවධාරණය කළහ.




මානව හිමිකම් සුරැකීම සහ ප්‍රවර්ධනය කිරීම උදෙසා ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රියාවලිය හරහා සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බවත්, එම ප්‍රගතිය මානව හිමිකම් මණ්ඩලය විසින් පිළිගත යුතු බවත් තනාපති දසනායක මහතා සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ ලිඛිත යාවත්කාලීන කිරීම මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් මහතාගේ සහභාගීත්වයෙන් මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම අදහස් පළ විය. සමස්ත එක්සත් ජාතීන්ගේ පද්ධතිය පුරා කාර්යක්ෂමතාව සහ ප්‍රමුඛතාවලිය ඉහළ නැංවීම සඳහා දැනට සිදුවන ප්‍රතිසංස්කරණවලට අනුකූලව, රටවල් පිළිබඳ වාර්තාකරණයේදී වඩාත් ඉලක්කගත, සාපේක්ෂ සහ බලතල මත පදනම් වූ ප්‍රවේශයක් අනුගමනය කරන ලෙසද ශ්‍රී ලංකාව මෙහිදී ඉල්ලා සිටියේය.