robbers-break-into-a-beauty-salon-cut-off-the-owners-hand-and-steal-jewelry

පෙතියාගොඩ ප්‍රදේශයේ පිහිටි රූපලාවණ්‍යාගාරයක හිමිකාරිනියට පිහියකින් පහර දී තුවාල සිදු කර, ඇය සතුව තිබූ රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකා පලාගිය සැකකරුවන් දෙදෙනෙකු සොයා පෑලියගොඩ මූලස්ථාන පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඊයේ (22) දහවල් කාලයේ දී ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු මෙලෙස අදාළ රූපලාවණ්‍යාගාරය තුළට කඩාවැදී මෙම අපරාධය සිදුකර ඇත.




අදාළ ස්ථානයට ඇතුළු වූ සැකකරු රූපලාවණ්‍ය ශිල්පිනියට මරණ තර්ජනය එල්ල කරමින් ඇගේ අතකට පිහිතලයකින් කපා තුවාල සිදු කර තිබේ. අනතුරුව ඇය පැළඳ සිටි රුපියල් හාර ලක්ෂ අසූදහසක් වටිනා රන් මාලය, රුපියල් අසූදහසක් වටිනා රන් පෙන්ඩනය සහ ඇය සතුව තිබූ රුපියල් පනස් අටදහසක මුදල කොල්ලකා ගැනීමට ඔහු කටයුතු කර ඇත.

මෙලෙස කොල්ලකන ලද රන් භාණ්ඩ සහ මුදල් ද සමඟින් අදාළ පුද්ගලයා, තමා පැමිණි ත්‍රිරෝද රථයේ නැගී අනෙක් පුද්ගලයා ද සමඟ ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ රූපලාවණ්‍ය ශිල්පිනිය විසින් පෑලියගොඩ මූලස්ථාන පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් පලාගිය සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ මෙහෙයවනු ලබයි.