
මතුගම, ආරියවංශගම ප්‍රදේශයේ පරවල ගං ඉවුර අසල තිබී සතුන් විසින් කා දමන ලද කාන්තා මළ සිරුරක් ඉකුත් 21 වැනිදා මතුගම පොලිසිය මගින් සොයාගෙන ඇත. ගං ඉවුර අසල මළ සිරුරක් ඇති බවට ලද දුරකථන පණිවුඩයක් මත වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් අදාළ ස්ථානය පරීක්ෂා කිරීමේදී මළ සිරුරේ ඉතිරිව තිබූ අස්ථි කොටස් කිහිපයක් සහ ඒ අසල වූ කාන්තා ඇඳුම් කොටස් කිහිපයක් හමුවී තිබේ.
මෙලෙස සොයාගැනුණු මළ සිරුර ඉකුත් 15 වැනිදා සිට අතුරුදහන්ව සිටි මතුගම, උතුම්ගම, දොඩම්පාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිදි කාලංචි දුරගේ රොසලින් නමැති මාතාවගේ බවට ඇයගේ දරුවන් විසින් හඳුනාගෙන ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මතුගම පොලිසිය විසින් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබූ අතර, ඊට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය 22 වැනිදා පැවැත්වීමට නියමිතව තිබිණි. මතුගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ධනුෂ්ක බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
