attempted-kidnapping-of-9-year-old-child-to-sacrifice-for-treasure

තෙලිජ්ජවිල, අල්ගිරිය ප්‍රදේශයේ නිධානයක් ගැනීමේ අරමුණින් අවුරුදු නවයක් වයසැති පිරිමි දරුවෙකු බලහත්කාරයෙන් පැහැරගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් සිව්දෙනෙකු මෙම මස 09 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා නියෝග කර තිබේ. මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කර ඇත්තේ තෙලිජ්ජවිල ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරෙකු, ඔහුගේ මිතුරෙකු සහ පිටබැද්දර, හුලන්දාව වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.




අදාළ දරුවා නිවසේ තනිව සිටි අවස්ථාවේදී ඔහුගේ ඇස් සහ කට රෙදි පටිවලින් බැඳ නිවස අසල පිහිටි ඝන කැලෑව දෙසට රැගෙන ගොස් ඇත. එම අවස්ථාවේදී දරුවා නැගූ කෑගැසීම ඇසුණු ප්‍රදේශවාසීන් සැකකරුවන් පසුපස ලුහුබැඳ ගොස් පොලිස් සහාය ද ඇතිව ඔවුන් අල්ලා ගැනීමට කටයුතු කර තිබේ. දරුවා පැහැර ගැනීමට සැකකරුවන් භාවිත කළ ත්‍රිරෝද රථය ද පොලිස් භාරයට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී නිධානයක් ලබාගැනීමේ අරමුණින් මෙම පැහැරගැනීම සැලසුම් කර ඇති බව අනාවරණය වී තිබේ. මොවුන් මීට පෙර ද අදාළ නිවස ආසන්නයට පැමිණ තොරතුරු සොයා බලා ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කර ඇත. සිද්ධියට මුහුණ දුන් දරුවා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇත.




මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත ජයමිණි කුමාර මහතාගේ උපදෙස් පරිදි මාලිම්බඩ පොලිසියේ ස්ථානාධිපති උදිත කුමාර, අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති සැරයන් රණතුංග (65134) සහ පොලිස් කොස්තාපල්වරුන් වන සමන් (40681) හා රුවන් (87826) යන මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.