sergeant-arrested-for-defrauding-welikada-police-of-rs

වැලිකඩ පොලිස් ස්ථානයේ මූල්‍ය කටයුතු සහ ගෙවීම් භාරව කටයුතු කළ පොලිස් සැරයන්වරයෙකු විසින් රජයට අයත් විශාල මුදලක් ඇතුළු තවත් දීමනා කිහිපයක් වංචා කිරීමේ චෝදනාව මත බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.




මෙම මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇත්තේ, නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ ගණකාධිකාරී මහේෂ් ඉන්දික තිලකරත්න මහතා ඇතුළු විමර්ශන කණ්ඩායමක් විසින් වැලිකඩ පොලිසියේ ගිණුම් වාර්තා පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදීය.

විශේෂත්වය වන්නේ මෙම විමර්ශන කටයුතු සිදුවන අවස්ථාවේදී මුදල් පොත් භාරව සිටි අදාළ සැකකාර නිලධාරියා එම ස්ථානය මඟහැර ගොස් තිබීමයි.




ඉන් අනතුරුව, රජයේ මුදල් නිසි පරිදි ගිණුම්ගත නොකිරීම ඇතුළු අනෙකුත් මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදිණිය මහතා වෙත ලිපියක් මගින් දන්වා යැවීමට පරීක්ෂණ නිලධාරීන් පියවර ගෙන තිබේ.

සිදු කරන ලද වැඩිදුර විමර්ශනවලදී තහවුරු වී ඇත්තේ, 2026 වසරේ මාර්තු 16 වැනිදා සිට මැයි 15 වැනිදා දක්වා වූ කාලසීමාව තුළ වැලිකඩ පොලිස් ස්ථානයෙන් නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ රජයේ ගිණුමට බැර කළ යුතුව තිබූ රුපියල් 411,100ක මුදලක් මෙම සැරයන්වරයා විසින් නිසි ලෙස බැර කර නොමැති බවයි.



මීට අමතරව තවත් මූල්‍ය වංචාවන් කිහිපයක්ම ඔහු විසින් සිදු කර ඇති බව විමර්ශන මගින් තවදුරටත් තහවුරු කරගෙන තිබේ.

ඒ අනුව 2026 මැයි 01 දින සිට ජූනි 01 දක්වා කාලය තුළ සිවිල් ආරක්ෂක බළකා නිලධාරීන්ගෙන් අය කරගත් රුපියල් 31,360ක භෝජනාගාර ගාස්තු මෙන්ම, 2025 වසරේ අප්‍රේල් මාසයේ අත්අඩංගුවට පත් සැකකරුවන්ගේ ආහාර සඳහා වෙන් කළ රුපියල් 170,150ක මුදල ද අදාළ භෝජනාගාර පාලකවරයා වෙත භාර නොදී ඔහු විසින් වංචාසහගත ලෙස තබාගෙන ඇත.

තවද, වැලිකඩ පොලිසියේ විශේෂ රාජකාරි සඳහා අනුයුක්ත කර සිටි සිවිල් ආරක්ෂක බළකා නිලධාරීන් දෙදෙනෙකුට ලබා දිය යුතුව තිබූ රුපියල් 50,300ක දීමනාවක් ද ඔවුන් වෙත ලබා නොදී සැකකරු විසින් වංචනික ලෙස ලබාගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.