nimal-perera-who-swore-that-namal-took-bribes-is-a-blatant-thief---dv-chanaka

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාට එයාර් බස් ගනුදෙනුවේදී රුපියල් මිලියන 100ක අල්ලස් මුදලක් ලබා දුන් බවට ව්‍යාපාරික නිමල් පෙරේරා නැමැත්තා දිවුරුම් ප්‍රකාශයක් මගින් අනාවරණය කර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට දැනුම් දී තිබේ. එම නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී කරුණු දක්වමින් ඔහු සඳහන් කළේ 'බිස් සොලියුෂන් ඉන්කෝපරේෂන්' නමැති ගිණුමේ සිට නිමල් පෙරේරාට අයත් 'සේබර් විෂන් හෝල්ඩින්ස්' ගිණුමට ඇමරිකානු ඩොලර් ලක්ෂ අටක මුදලක් ලැබී ඇති බවයි.

ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 100කට සමාන වන මෙම අල්ලස් මුදල රුපියල් බවට පත්කර සැකකාර නාමල් රාජපක්ෂ මහතා වෙත භාර දුන් බවට අදාළ ව්‍යාපාරිකයා සාක්ෂි දෙමින් ප්‍රකාශ කර ඇත.




කෙසේ වෙතත්, නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා මෙම දිවුරුම් ප්‍රකාශයෙන් එල්ල වූ සියලු චෝදනා ප්‍රතික්ෂේප කළ අතර නිමල් පෙරේරා නැමැත්තාගේ ප්‍රකාශයේ විශ්වසනීයත්වය පිළිබඳව අධිකරණය හමුවේ අභියෝග කර සිටියේය. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ නිමල් පෙරේරා යනු නඩු 100කට ආසන්න සංඛ්‍යාවක් ඇති, විටින් විට සාක්ෂි වෙනස් කරන බොරුකාර දූෂිත ව්‍යාපාරිකයෙකු බවයි. එවැනි එක් දූෂිත පුද්ගලයෙකුගේ කටඋත්තරයක් පදනම් කරගනිමින් වත්මන් ආණ්ඩුව නාමල් රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරන බවටද මන්ත්‍රීවරයා චෝදනා කළේය.



එසේ වුවද, පොදුජන පෙරමුණ විසින් දූෂිතයෙකු ලෙස හඳුන්වනු ලබන නිමල් පෙරේරාගේ උපන්දින සාදයකට නාමල් රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ සහභාගී වී සිටින ඡායාරූප රැසක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී. මීට අමතරව, දැනට අධිකරණයේ විභාග වන ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩුවේදීද නාමල් රාජපක්ෂ මහතා අදාළ ව්‍යාපාරිකයා සමග ගනුදෙනු කර ඇති බව අනාවරණය වී තිබේ. එහිදී රග්බි ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා මූල්‍යාධාර ලෙස ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂ ආර්. පී. ගුප්තාගෙන් ඉල්ලා සිටි රුපියල් මිලියන 70ක මුදලක් 2012 ඔක්තෝබර් සහ දෙසැම්බර් අතර කාලයේදී නිමල් පෙරේරාගේ බැංකු ගිණුම් වෙත බැර වී ඇති අතර, එම මුදල 2013 වසරේ සුපර් සෙවන්ස් රග්බි තරගාවලියට පෙර වාරික වශයෙන් නාමල් රාජපක්ෂ මහතා වෙත ලබා දී ඇති බව විමර්ශනවලදී තහවුරු වී ඇත.