1000-people-came-and-donated-their-hair-on-binara-poyada

රෝගී තත්ත්වයන් හේතුවෙන් පීඩාවට පත් වූවන්ගේ සුබසාධනය උදෙසා තම කේශ කලාපය පරිත්‍යාග කිරීමේ සුවිශේෂී මහා පුණ්‍යකර්මයක් පසුගිය බිනර පුර පසළොස්වක පෝදා පේරාදෙණිය සරසවි විද්‍යායතන පරිශ්‍රයේදී අතිසාර්ථක අයුරින් ක්‍රියාත්මක විය. පේරාදෙණිය සරසවි විද්‍යායතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ගිහාන් බ්‍රාහ්මණගේ මහතා විසින් සිය ජීවිතයේ සියවන වතාවටත් රුධිරය දන්දීම නිමිත්තෙන් මෙම උතුම් සත්කාර්යය සංවිධානය කර තිබීම විශේෂත්වයකි.




පිළිකා රෝගයට ගොදුරු වීම හේතුවෙන් හිසකෙස් අහිමි වී මානසිකව සහ ශාරීරිකව පීඩාවට පත්ව සිටින රෝගීන්ගේ සුවය වෙනුවෙන් දියත් කළ මෙම වැඩසටහන සඳහා දහසකට අධික පිරිසක් එක්ව සිටියහ. ඒ සඳහා කුඩා දැරියන්, තරුණ තරුණියන් මෙන්ම වැඩිහිටි කාන්තාවන් ද මහත් උද්යෝගයෙන් යුතුව සිය හිසකෙස් පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වී සිටීම කැපී පෙනුණි. එමෙන්ම ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් ද නියෝජනය වන පරිදි දිවයිනේ විවිධ ප්‍රදේශවලින් විශාල ජනතාවක් මේ සඳහා සහභාගී වීම මෙහිලා තවත් සුවිශේෂී කරුණක් විය.

මෙම හිසකෙස් දන්දීමේ වැඩසටහනට සමගාමීව තවත් සමාජ සත්කාරක කටයුතු කිහිපයක් ද එදින ක්‍රියාත්මක කෙරිණි. ඒ යටතේ රුධිර දාන කඳවුරක් සහ අක්ෂි ඇතුළු ශරීර අවයව පරිත්‍යාග කිරීම සඳහා ලියාපදිංචි වීමේ විශේෂ අවස්ථාවක් ද ජනතාවට විවෘත කර තිබූ අතර, එම කටයුතු සඳහා ද දහස් ගණනක අතිවිශාල පිරිසකගේ නොමඳ දායකත්වය හිමිව තිබුණි.

1000-people-came-and-donated-their-hair-on-binara-poyada

1000-people-came-and-donated-their-hair-on-binara-poyada